ලංකා-දකුණු අප්‍රිකා දෙවන තරගයේ තෙවන දිනය අවසන්

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන්

by Staff writer 22-07-2018 | 6:16 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනටත් කොළඹ එස්. එස්. සී පිටියේදී පැවැත්වේ.

අද දිනය අවසන් වන විට ලකුණු 490 ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 139කි. කොළඹ එස්. එස්. සී පිටියේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 338 ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 124 කට දැවී ගියේ ය. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණූ 151 ක් රැස්කරගෙන සිටියේ ය. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න හා ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 63 කි. අද සිය ටෙස්ට් දිවියේ 17 වන අර්ධ ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 85 කි. ඇන්ජෙලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ 29 වන අර්ධ ශතකය අද වාර්තා කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම අද සිය දෙවැනි ඉනිම අත්හිටුවූයේ කඩුලු 5ක් දැවී ලකුණු 275ක් රැස් කරගෙන සිටියදීයි. ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 490 ක ඉලක්කයක් හිමි විය. දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ආරම්භ කළේ, ඩීන් එල්ගා සහ එයිඩන් මාක්‍රම්. ලකුණු 14කට මාක්‍රම් දැවී ගියා. ඔවුන්ගේ පළමු කඩුලු දෙක බිඳ වැටුනේ ලකුණු 80කදීයි. රංගන හේරත් සහ අකිල ධනංජය කඩුලු 2 බැගින් දවා ගත්තේ ය.