සිරගත අපරාධකරුවන් ගත් ඇමතුම් 3000ක් ගැන පරීක්ෂණ

බන්ධනාගාරගත මත්ද්‍රව්‍ය අපරාධකරුවන් ගත් දුරකථන සංවාද 3000ක් ගැන විමර්ශන

by Staff writer 22-07-2018 | 7:56 PM
බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් අතර සිදුවූ දුරකථන සංවාද තුන් දහසකට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. ඒ අතරට ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ද ඇතුළත් බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඉන්දියාව, ඩුබායි, නයිජිරියා සහ පකිස්ථානය වන රටවල සිටින විවිධ අපරාධකරුවන් සමග ඔවුන් දුරකතන සබඳතා පවත්වා ඇති බව පරීක්ෂණවලදී තහවුරු වූ බවයි. එලෙස විදේශීය රටවල අපරාධකරුවන් සමග සබඳතා පවත්වා ඇත්තේ ගාල්ල, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර සිටින සිරකරුවන් ය. අදාළ දුරකථන සංවාද සම්බන්ධයෙන්, පොලිස් විශේෂ කාර්ය බලකායෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය. අදාළ බන්ධනාගාරවල විදේශිකයින් කිහිපදෙනෙකු ද රඳවා සිටි අතර ඔවුන් සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර බන්ධනාගාරගතව සිටින, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය පළ කරන නියාමකවරුන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔවුන් ජංගම දුරකථන ඇතුළු නීතිවිරෝධී උපකරණ රැඳවියන්ට ලබාදීම වැනි අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි. එවැනි නිලධාරින් 6 දෙනෙකු සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඔවුන් කොළඹ කේන්ද්‍ර කරගත් බන්ධනාගාරවල සේවය කරන නිලධාරීන් ය. වසරේ මේ දක්වා කාලය තුළ එවැනි අක්‍රමිකතාවලට සම්බන්ධ, බන්ධනාගාර නියාමකවරුන් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිධාරියා සඳහන් කළේ ය. එමෙන්ම මේ වන විට මෙරට තුළ ක්‍රියාත්මක සංවිධානත්මක අපරධ කණ්ඩායම් 30ක සැකකරුවන් 200ක් පමණ ද බන්ධනාගරගතව සිටී.