ශ්‍රීලංකන් ගුවන් සේවය 95 වන ස්ථානය දක්වා පසුබසී

ප්‍රධානීන් මිලියන ගණනින් වරප්‍රසාද ඉල්ලද්දී පල්ලම් බසින ශ්‍රීලංකන්...

by Sagarika Chathumali 22-07-2018 | 9:09 PM

COLOMBO (News 1st) : ලොව ප්‍රමුඛතම ගුවන්සේවා වර්ගීකරණය ලෙසින් සැලකෙන Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය හිමිව ඇත්තේ 95 වන ස්ථානයයි.

එය 2015 වසරේ සිටි ස්ථාන 22 ක පසුබෑමකි. ලොව ප්‍රමුඛතම ගුවන්සේවා වර්ගීකරණය ලෙසින් සැලකෙන Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවය ලෙසින් සිංගප්පූරු ගුවන්සේවය නම් කර තිබේ. ලොව පුරා සිටින ගුවන් මගීන්ගේ කැමැත්ත මත මෙම වර්ගීකරණය සිදුවේ. එය 2017 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට හිමිව තිබුණේ, 81 වැනි ස්ථානයයි. මෙම වර්ගීකරණයට අනුව 2011 වසරේ දී ශ්‍රීලංකන් ගුවන්සේවය 52 වන ස්ථානයේ පසු වූ අතර 2016 වසරේ දී 67 වන ස්ථානයේ පසුවිය. පසුගිය වසර කිහිපයේ ශ්‍රීලංකන් ගුවන් සමාගම අලාභ ලබමින් පසුබෑමට ලක්විය. 2015 වසරේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක චරිත රත්වත්තේ මහතාගේ සහෝදරයා වන සුරේන් රත්වත්තේ මහතා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් කෙරිණ. පාඩු ලැබූ ගුවන් සමාගමෙන් විශ්‍රාම යන විට සුරේන් රක්වත්තේ මහතා මිලියන ගණනින් වරප්‍රසාද ඉල්ලා සිටියේ ය. තම බිරිඳ සමග ඕස්ට්‍රේලියාවට යාමට ඒමට සමාගමේ වියදමෙන් ගුවන් ටිකට් පත් ඉල්ලා තිබූණේ, එම වරප්‍රසාද යටතේයි. ඔහුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 32කි. බිලියන ගණනින් පාඩු ලබන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි පල්ලම් බහින මෙරට ජාතික ගුවන් සේවය විනාශ මුඛයට තල්ලු කරන පුද්ගලයින් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සුරේන් රත්වත්තේ පත්කෙරුණේ ඔහුගේ සහෝදරයා වන අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ වන නිසා ද ? ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ වගකීම පැවරෙන්නේ කාට ද ?