ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Chathuranga Rajapaksha 22-07-2018 | 7:01 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1 - කුමන බාධක පැමිණියත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා – ජනපති: රජයට කවර බාධක පැමිණියත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමේ තීරණය නැවත වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුවේ ඉදිකිරීමට නියමිත චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය. 2 - ශ්‍රීලංකන් සේවකයින්ට අඩු පඩි: ප්‍රධාන විධායක නිලධාරියාට රු. ලක්ෂ 32ක මූලික වැටුපක්: ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා රුපියල් ලක්ෂ 32ක මූලික වැටුපක් ලබද්දී බහුතරයක් සේවකයින් ඉතාමත් අඩු පඩි ලබන බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය පෙන්වා දෙයි. වාහන දීමනා සහ තෙල් දීමනා ආදී වෙනත් දීමනා ද ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේන් රත්වත්ත මහතාට හිමි බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාවේ පැවැති අභියාචනා විභාගයකදී අනාවරණය වී තිබේ. 3 - සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 418ක් අතුරුදන්: සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යංශය මගින් පසුගියදා අත්සන් කළ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මෙතෙක් සම්පූර්ණයෙන් ජනතාවට ප්‍රසිද්ධ කර නොමැති බවට වෘත්තිකයෝ චෝදනා කරති. සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 1500ක් ඇති බවට අමාත්‍යංශය ප්‍රකාශ කළ ද ජනාතවට ඉදිරිපත් කළ ගිවිසුමේ ඇත්තේ පිටු 1082ක් පමණක් බවට වෘත්තිකයෝ පෙන්වා දෙති. ඒසේ නම් ඉතිරි පිටු 418ට හිතාමතා වසන් කළා ද? 4 - ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉවත් කිරීමට එරෙහිව දකුණේ ජනතාව වීදි බසී: ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා විශාල පිරිසක් ඊයේ විරෝධතාවක නිරත වූහ. ඔවුන් මෙලස විරෝධතාවක නිරත වුණේ, මාතර – කොළඹ ප්‍රධාන මාර්ගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසලින් අවහිර කරමිනි. 5 - අල්ලස් ලබා ගත් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක රිමාන්ඩ්: අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක මහගමගේ ගාමිණි මහතා ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබා ගැනීමට යාමේදී ය. 6 - ජන සුබ සාධනය වෙනුවෙන් රටක් පෙළ ගැස්වූ ගම්මැද්ද V’Force ක්‍රියාන්විතය සීගිරියෙන් ඇරඹෙයි: ජන සුබ සාධනය වෙනුවෙන් රටක් පෙළ ගැස්වූ ගම්මැද්ද ඊයේ තවත් දැවැන්ත ජාතික කාර්ය භාරයකට මුල පිරුවේ ය. ඒ අනුව ගම්මැද්ද V’Force ක්‍රියාන්විතය සීගිරියෙන් ආරම්භ කළේය. විදෙස් පුවත් 1 - ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයෙන් ඉන්දීය අගමැති මෝදිට පහසු ජයක්: ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැටලු මුල් කර ගනිමින් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ ආණ්ඩුව පහසු ජයග්‍රහනයක් හිමි කර ගෙන තිබේ. ඒ, විශ්වාසභංග විවාදයට ලොක් සභාවට පැමිණ සිටි පාර්ලිමේන්තු සභිකයින් 451 අතුරින් 325 ක බහුතර ඡන්දයෙනි. ක්‍රීඩා පුවත් 1 - ශ්‍රී ලංකා - දකුනු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනයට ඊයේ නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 151කි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 7ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 365ක් ඉදිරියෙන් සිටී. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 338යි. දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 124කට සීමා විය.