ගාල්ලේ ජාත්‍යන්තර තරග නැවතීමේ උවමනාව ඇත්තේ කාටද?

ගාලු පිටියේ ජාත්‍යන්තර තරග නැවැත්වීමේ සැබෑ උවමනාව ඇත්තේ කාට ද?

by Staff writer 22-07-2018 | 8:29 PM
ගාලු ක්‍රීඩාංගණයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල හා සුනාමියෙන් පසුව ඉදිකරනු ලැබූ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ඉවත් කිරීමේ කතිකාව පසුගිය දින කිහිපය පුරා දේශපාලන වේදිකාව ද උණුසුම් කළේ ය. මේ ස්පෝර්ට්ස් ෆස්ට් ඒ පිළිබදව සිදු කරන අනාවරණයක්. ගාලු ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව පසුගිය 3 වන දා අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ, දක්ෂිණ සංවර්ධන සහ තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක, එහි රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. එහි දිගුවක් ලෙස මේ පිළිබඳ තවත් සාකච්ඡාවක් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 වන දා සෙත්සිරිපායේදී පැවැත්විණ. මේ පිළිබඳ ස්පෝර්ට්ස් ෆස්ට් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ, ශ්‍රී ලංකාවේ පිහිටි ස්මාරක හා අඩවි පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය හෙවත් අයිකොමොස් ආයතනය මගින් යුනෙස්කෝ ආයතනය වෙත මීට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි. කෙසේ නමුත් එම නිර්දේශ ඇතුළත් වාර්තාවේ ගාලු ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමක් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවට වාර්තා වේ. මෙම වාර්තාව 2016 වසරේ ජූලි මස 11වන දා සිට 15 වැනිදා දක්වා සිදු කළ තොරතුරු ගවේෂණයක නිර්දේශ ද ඇතුළත් කරමින් සකස් කර තිබේ. යුනෙස්කො කොමිසමේ ශ්‍රී ලංකා මහලේකම් ලාල් රණවීර මහතා අදාළ වාර්තාවේ කරුණු දක්වා ඇත්තේ අදාළ ඉදිකිරීම් සිදු කොට තිබෙන්නේ නියමිත නිර්දේශ හා ක්‍රියා පටිපාටි උල්ලංඝනය කරමින් බවයි. අදාළ ඉදිකිරීම් මගින් ලෝක උරුමය ලෙස සැලකෙන ගාලු කොටුව දර්ශනය වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැණ නැගී ඇති බව අදාළ වාර්තාව මගින් තොරතුරු අනාවරණය කරයි. එසේම ඔවුන් ලබාදුන් නිර්දේශවලට අනුව පැති තණතීරු කිහිපයක් ඉවත් කළ යුතු බව ද අදාළ වාර්තාවේ සඳහන් ය. අදාළ ඉදිකිරීම් සම්බන්ධයෙන් එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස කටයතු කළ ඩී.එස්. ද සිල්වා මහතා සහ සියලු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කරුණු සාකච්ඡා කර තිබේ. එහිදී අදාළ ඉදිකිරීම් කිසිවක් ඉවත් කිරීමට තීරණය වී නොමැත. එසේම යම්කිසි දිනෙක අදාළ ඉදිකිරීම් ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එහිදි ඉතාම සංවේදී සහ පරීක්ෂාකාරී ලෙස එම කටයුතු සිදු කළ යුතු බවට එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ. යුනෙස්කෝ සංවිධානය හෝ එහි තීන්දු තීරණ සම්බන්ධයෙන් වගකීම් දරණ ශ්‍රී ලංකාවේ පිහිටි අයිකොමස් හෙවත් ස්මාරක හා අඩවි පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය හෝ යුනෙස්කෝ ආයතනය මගින් ගාලු ක්‍රීඩාංගණයේ කිසිදු ඉදිකිරීමක් ඉවත් කිරීමට කිසිදු නිර්දේශයක් හෝ තීරණයක් ගෙන නොමැති නමුත් එවැනි අවශ්‍යතාවයක් මතු වූයේ කාට ද? මෙම වාර්තාවේ ඇතුළත් තොරතුරුවලට පරිභාහිරව යුනෙස්කෝ සංවිධානය හෝ වෙනත් වගකිව යුතු ආයතනයක් මෙම ඉවත් කිරීම් සිදු කළ යුතු බවට නිර්දේශ කර ඇත්නම්, බලධාරීන් එය ඉදිරිපත් කිරීමට පසුබට වන්නේ ඇයි? ගාලු ක්‍රීඩාංගණයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල හා මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ඉවත් කොට එහි ජාත්‍යන්තර තරග පැවැත්වීමේ නැවැත්වීමේ සැබෑ උවමනාව ඇත්තේ කාට ද?