කුමන බාධක පැමිණියත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා – ජනපති

by Staff writer 21-07-2018 | 12:33 PM
COLOMBO (News 1st) - රජයට කවර බාධක පැමිණියත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමේ තීරණය නැවත වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුවේ ඉදිකිරීමට නියමිත චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් එතුමා මේ බව සඳහන් කළේ ය. චීන ආධාර යටතේ මෙම නව ජාතික වකුගඩු රෝහල ඉදිවේ මේ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 12කි. මේ අතර චීන ජනාධිපති ෂී ජිං පිං මහතා ජනාධිපතිවරයාට ලබා දුන් තවත් ආධාර මුදලක් පිළිබඳව ද මෙහිදී කරුණු හෙළිවිණි. ඕනෑම කාර්යයක් සඳහා යොදා ගැනීමට රුපියල් බිලියන 48ක ආධාර මුදලක් චීන ජනාධිපතිවරයා විසින් එවා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ය. ජනාධිපතිවරයා පැවසුවේ, එම මුදලින් රට පුරා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව ය.