රත්තා ත් හෙරොයින් සමග STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්තා ත් හෙරොයින් සමග STF අත්අඩංගුවට

by Staff writer 21-07-2018 | 10:09 PM
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්තා නොහොත් හෂාන් කුමාර නමැත්තා අත්බෝම්බයක් හා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබේ. 32 හැවිරිදි එම සැකකරු ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර ගෙවුණු පැය 24ත් ස්ථාන කිහිපයක සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කෙරිණි. සේරුනුවර ඊච්චලන්පත්තු ප්‍රදේශයේදී හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 69ක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය. මේ අතර අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806ක් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඊයේ රාත්‍රියේ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු බැංගලෝරයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 96 කි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව උපාය දූතයින් යොදා ගනිමින් එම මත්ද්‍රව්‍ය මෙරට බෙදා හරින බවට සැක කරන පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද දහවල් අත්අඩංගුවට ගැනුණේ නාරාහේන්පිටදී ය. පොලීසිය සඳහන් කළේ, එම සැකකරු 37 හැවිරිදි කිඹුලාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය. සැකකරුවන් දෙදෙනා ලබන 26 දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.