ශ්‍රීලංකන් CEOට රු. ලක්ෂ 32ක මූලික වැටුපක්

ශ්‍රීලංකන් සේවකයින්ට අඩු පඩි: ප්‍රධාන විධායක නිලධාරියාට රු. ලක්ෂ 32ක මූලික වැටුපක්

by Staff writer 21-07-2018 | 7:22 PM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා රුපියල් ලක්ෂ 32ක මූලික වැටුපක් ලබද්දී බහුතරයක් සේවකයින් ඉතාමත් අඩු පඩි ලබන බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය පෙන්වා දෙයි. වාහන දීමනා සහ තෙල් දීමනා ආදී වෙනත් දීමනා ද ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේන් රත්වත්ත මහතාට හිමි බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාවේ පැවැති අභියාචනා විභාගයකදී අනාවරණය වී තිබේ. වැඩිදුරටත් හෙළි වී ඇත්තේ ඔහුට ඒ 320 ජෙට් කන්වර්ෂන් ගුවන් යානයේ පෞද්ගලික පියාසර පුහුණුව සඳහා අමෙරිකානු ඩොලර් 23,568ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 37ක් වැය වී ඇති බව ය. මීට අමතරව ආයතනයේ තවත් ඉහළ තනතුරු සඳහා ද විශාල වැටුපක් හා දීමනා ලැබෙන බව ද මෙහිදී හෙළි වී තිබේ මේ අතර සේවකයින්ට සාධාරණ වැටුප් වැඩි කිරීමක් සිදු නොකළහොත් ලබන සතියේදී කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අඩාල වන මට්ටමට මෙම ගැටලුව දුරදිග යා හැකි බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති ජානක විජේපතිරත්න මහතා පෙන්වා දෙයි.