මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන වාර්තා 3ක් ජනපතිට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වාර්තා 3ක් ජනපතිට

by Staff writer 21-07-2018 | 9:30 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හඳුනාගත් සිරකරුවන් සම්බන්ධයෙන්, වාර්තා තුනක් ජනාධිපතිතුමාට ඉදිරිපත් විය යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනූව නීතිපතිවරයාගේ, අධිකරණ අමාත්‍යවරියගේ සහ මරණ දඬුවමට අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයාගේ නිර්දේශ ඇතුළත් වාර්තා ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතුයි. අධිකරණ අමාත්‍යවරිය ජනාධිපතිතුමාට යොමු කරන නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කෙරෙන්නේ අධිකරණ අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවකින් බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය. එම කමිටුව සිරකරුවන්ගේ කරුණු විමසීම ද විශේෂත්වයකි. විත්තිකරුවෙකුට මරණ දඬුවම නියම කරන විනිසුරුවරයා ද එම නියෝගය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කළ යුතු වේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, නීතිපති නිර්දේශ ඇතුළත් වාර්තාව ද ජනාධිපතිතුමාට යොමු කළ යුතු බවයි. එම වාර්තා පදනම් කරගනිමින් සකස් වන අවසන් ලැයිස්තුවට ජනාධිපතිවරයා අත්සන් තැබීමෙන් පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවසර හිමි වනු ඇති. මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දඬුවම නියමව, දඬුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ය.