ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 21-07-2018 | 7:53 AM
1. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉවත් නොකරන බව රජය කියයි: යුනෙස්කෝ සංවිධානයේ අවධානය යොමු වී ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය‍. එහිදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ෆයිසර් මුස්තාපා, චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන් අදහස් පළ කර තිබේ. 2. ගෝඨාභය රාජපක්ෂට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග: හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට සැප්තැම්බර් 7 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසී යැවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද නියෝග කළේය. තංගල්ල වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් මිලියන 81 ක් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව යළි විමසා බැලිණි. 3. රු. ලක්ෂ 96 අයිස් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු කොටුවෙයි: අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806 ක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය මගිනි. 4. ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ ගල් කොරියකට බලපත්‍ර ලබාදීමට යාමේදී උණුසුම් තත්ත්වයක්: ගාල්ල වඳුරඹ කීඹිකන්ද ලිට්නස්වත්ත ප්‍රදේශයේ ගල් කොරියකට බලපත්‍ර ලබාදීම සඳහා පරීක්ෂණාත්මක පිපිරීමක් සිදු කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශ නිලධාරීන් එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.

විදෙස් පුවත්

5. ඉන්දීය අගමැති මෝදිගේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය: ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට එරෙහිව තෙලිගු දේසාම් පක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඊයේ දිනයේ පැවැත් විය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයට එරෙහිව තෙලිගු දේසාම් පක්ෂය පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ආවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇති ගැටලුවලට නිසි විසඳුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වූ බවට චෝදනා කරමිනි.

ක්‍රීඩා පුවත්

6. ජෙෆ්රි වැන්ඩර්සේට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක්: ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේට ජාත්‍යන්තර තරග සඳහා වසරක තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි වැඩි දුරට ත් දැක්වෙන්නේ නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තහනම පැනවූ බව ය. 7. වසර 8කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පළමු කඩුල්ලට ශතක සබඳතාවක්: ඊයේ දිනයේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළවන දිනය කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත් විය. අද දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 277කි. වසර 8කට පසුව මෙරට පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගීමට දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක අද සමත් විය.