ඇඹිලිපිටියේ පෞද්ගලික බලාගාරයකට රු. මිලියන 840ක නීති විරෝධී ගෙවීමක්

by Staff writer 21-07-2018 | 9:06 PM
COLOMBO (News 1st) - මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියකින් තොරව ලබා ගත් විදුලිය වෙනුවෙන් ඇඹිලිපිටිය පෞද්ගලික බලාගාරය සඳහා රුපියල් මිලියන 840 අධික මුදලක් අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ මහතාගේ විශේෂ අවසරයක් මත ගෙවා දමා ඇති බවට වාර්තා වේ. අදාළ විදුලිය මිලදී ගැනිම් නීති විරෝධී බව සඳහන් කරමින් ඒ සඳහා වන ගෙවීම් සිදු කිරීම ප්‍රතික්ෂේප කළ ලංකා විදුලිබල මණ්ඩලයේ බලශක්ති මිලදී ගැනීම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව කේ. අබේවික්‍රම මහතාගේ වැඩ පසුගියාදා තහනම් කර තිබිණි. ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා තිබූ දීර්ඝ කාලීන ගිවිසුම අවසන් වී ඇත්තේ 2015 වසරේදී ය. එහෙත් මේ වසර මුලදී කැබිනට් මණ්ඩලයේ අවසර මත යළිත් එම සමාගමෙන් වසර 3ක් සඳහා විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය ගවිසුම්ගතව තිබේ. නමුත් මෙම විදුලිය මිලදී ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියක් අවශ්‍ය වුවද ඒ සඳහා මෙතෙක් කොමිෂන් සභාව අවසර දී නොමැත. එවැනි තත්ත්වයක් උඩ අදාළ විදුලිය මිලදී ගැනීම සඳහා වන ගෙවීම් තමාට සිදු කිරීමට නොහැකි බවත් එම ගෙවීම් නීති විරෝධී බවත් ප්‍රකාශ කිරීම නිසා තමා සේවයෙන් පහ කළ බව මීට පෙර විදුලිබල මණ්ඩලයේ බලශක්ති මිලදී ගැනීම් හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව කේ. අබේවික්‍රම මහතා අප සමග සඳහන් කළේ ය. සුජීව කේ. අබේවික්‍රම මහතාගේ වැඩ තහනම් කිරීමත් සමග ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඒ.කේ. සමරසිංහ මහතා පසුගිය 17 වන දා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට ලිපියක් යොමු කරමින් මෙම ගෙවිම් සිදු කිරීමට විශේෂ අවසරයක් ඉල්ලා තිබේ. එම ඉල්ලීම සඳහා අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ මහතා අවසර ලබා දීමක් සිදු කළ ද ඔහු සිය ලිපියේ මෙම බලාගාරයෙන් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් පරිපාලනමය ගැටලු පවතින බව සඳහන් කර තිබේ.