විශ්වාසභංගයෙන් මෝදිට පහසු ජයක්...

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයෙන් ඉන්දීය අගමැති මෝදිට පහසු ජයක්

by Hashini De Mel 21-07-2018 | 8:09 AM

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැටලු මුල් කර ගනිමින් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ ආණ්ඩුව පහසු ජයග්‍රහනයක් හිමි කර ගෙන තිබේ.

ඒ, විශ්වාසභංග විවාදයට ලොක් සභාවට පැමිණ සිටි පාර්ලිමේන්තු සභිකයින් 451 අතුරින් 325 ක බහුතර ඡන්දයෙනි. රජයට විරුද්ධව ඡන්දය භාවිත කර තිබුනේ සභිකයින් 126 දෙනෙකු පමණි. විශ්වාසභංගය ජය ගැනීමට නම් සභිකයින් 226 දෙනෙකුගේ ඡන්දය ලැබිය යුතු විය. විශ්වාසභංග ඡන්ද විමසීම ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවැත්වුනේ පැය 12 ක් පුරා පැවති විවාදයෙන් අනතුරුවයි. විවාදය ආරම්භ කළ කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ සහ ඉන්දීය රජයේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කළේ ය. පැයකට අධික කාලයක් පැවති සිය දීර්ඝ කතාව අවසන් කළ රාහුල් ගාන්ධී, අග්‍රාමාත්‍ය මෝදී සිප වැලැඳ ගැනීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විණි. ඔහු එහිදී අග්‍රාමාත්‍යවරයාට පැවසූවේ, ඔබට අවශ්‍ය නම් මට අපහාස කළ හැකි බවයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පාර්ලිමෙන්තුව විවාදයට එක්වුනේ ඉන් අනතුරුවයි. දීර්ඝ කතාවක් කළ අගමැති මෝදී අවසානයේ රාහුල් ගාන්ධීගේ තර්ක එකින් එක බිඳ දැමුවේ ය.