ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉවත් නොකරන බව රජය කියයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉවත් නොකරන බව රජය කියයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉවත් නොකරන බව රජය කියයි

කර්තෘ Staff writer

20 Jul, 2018 | 9:37 pm

COLOMBO (News 1st) – යුනෙස්කෝ සංවිධානයේ අවධානය යොමු වී ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පලවිය‍.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා

ගාලු ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ගහන්න එපයි කියලා යුනෙස්කෝ එක කියන්නෙ නෑ. හැබැයි ගාලු භූමිය ඇතුළත ඒ හිස් අවකාශෙට විවෘත වෙලා තියෙන්නෙ ඕනෙයි කියන එක තමයි යුනෙස්කෝ එකේ නීතිය.දැන් ඒක උල්ලංගණය වෙලා තියෙන්නෙ 2006 වසරේ මේ ක්‍රීඩාංගණයේ මහින්ද රාජපක්ෂ පැවිලියන් කියලා අනවසර ඉදි කිරීමක් කරලා තියෙනවා. ඒ අනවසර ඉදි කිරීම ඉවත් කරන්න කියලයි යුනෙස්කෝ සංවිධානය දැනුම්දීලා තියෙන්නෙ. මහින්ද රාජපක්ෂ පැවිලියන් තියාගෙන ලෝක උරුම ලැයිස්තුවෙන් මේක කපා ගන්නවද කියලා තමයි දැන් තියෙන ප්‍ර‍ශ්නය

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා

මම එවකට නාගරික සංවර්ධන ඇමතිතුමා. ප්‍ර‍ශ්නෙ කලින්ම යුනෙස්කෝ ගෙනාව වෙලාවෙ අපි කතා කළා. ඕක මහින්ද රාජපක්ෂ මැතිතුමා හදපු එකක් නෙමෙයි.වෙන කණ්ඩායමක් ඇති කළා

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා

ඒ අවස්ථාවෙදි යූ ඩී එක, යුනෙස්කෝ සංවිධානය, ක්‍රිකට් බෝඩ් එක මේ සියළු දෙනා කතා කරලා එකඟතාවයක් ආවා මින් එහාට ඉදිකිරීම් කරන්නෙ නෑ. මේකෙන් තමයි නවත්තන්නෙ කියලා. ඒ හින්දා එදා ඒ ප්‍ර‍ශ්නෙ ඉවර වුණා. හැබැයි එදත් අද ඕක කඩන්න උත්සහ කරන එක්කෙනාට ඕන කරලා මේ පිට්ටනිය කඩලා ගෙනියන්නම තමයි

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා

ගාමිණී ලොකුගේ ඇමතිතුමා කියපු ස්ථාවරයනම් අපිට පිළිගන්න බෑ. යුනෙස්කෝ එකේ ස්ථාවරය වෙනස් වෙලා නෑ. ගාලු නගර සභාව නෙමෙයි යුනෙස්කෝව කියන්නෙ.

පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා

හෙට අනිද්දා මේක කඩන්නෙත් නැහැ. මං වගකීමකින් කියනවා ක්‍රීඩා ඇමති හැටියට විජයදාස රාජපක්ෂ ඇමතිතුමා සහ සාගල රත්නායක ඇමතිතුමත් එක්ක අපි සාකච්ඡා කරලා රටට සුබදායී තීන්දුවක් ගමු. ඒ වගේම අපිට 2019 සැප්තැම්බර් මාසෙ වෙනකන් අපිට කාලෙ තියෙනවා වාර්තා කරන්න

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා

2004 සුනාමියෙන් පස්සෙ අපි කොග්ගල ප්‍රදේශයේ තැන් අඳුන ගත්තා. ඒ තැන ඉදි කෙරුණෙ නෑ.

තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා

ඒ සැලැස්ම අත ඇරලා නෑ.නමුත් මේ ගාල්ල නගරයේ මැද තියෙන මේ ක්‍රීඩා පිටිය කිසිසේත් ඉවත් කරන්න සැලැස්මක් නෑ.ඒක ඒ විදිහටම පවත්වන්නෙ ඒක තවත් දියුණු කරන්නෙ පාසල් ළමුන්ට, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවශ්‍ය අවස්ථා වලදි ඒකට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා

ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා

ගොඩනැගිල්ල හදන වෙලාවෙ කිව්වා මේ ගොඩනැගිල්ල හදන්න එපා කියලා. හැබැයි ක්‍රිකට් පාලන මණ්ඩලයේ ගාල්ලෙ ඉන්න කට්ටියක් එක්කහු වෙලා මේ, මොකද එතනින් තමයි මුදල් හොරකම් කරන්නෙ. මේ පැවිලියන් එක හදලා අනවශ්‍ය විදිහට හැදුවට පස්සෙ මේක කඩන්න කිව්වා. කඩන්න යනකොට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ නම ගිහිල්ලා ඒකෙ ගැහුවා. ඊට පස්සෙ ඕක කැඩුනෙ නෑ. අළුත් තාක්ෂණයක් එක්ක අර ඉතාමත් ඉක්මනින් හදන්න පුළුවන් දෙයක් හදලා ඒක ඉවත් කර ගන්න පුළුවන් ක්‍ර‍වේදයක් ඇතිබ කර ගන්න ඕනෙ. මොකද මේ ලෝක උරුමය නැති කර ගන්නත් බෑ. අනිත් එක ක්‍රිකට් පැත්තෙන් බලපුවම මේ ක්‍රීඩාංගණය හුඟාක් වෙලාවට අපිට වාසිදායක ක්‍රීඩාංගණයක්.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා

කොග්ගල එකත් හදන්න බලාපොරොත්තු වෙනවා ගාල්ල නගරයේ තියන ක්‍රීඩාංගනයත් ආරක්ෂා කරගන්නවා.අනවශ්‍ය ඉදිකිරීම් විතරක් ඉවත් කරලා ලෝක උරුමය රැක ගන්න ඕනේ