හිටපු ජනපති සහ චීන ගනුදෙනු ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක්

by Staff writer 19-07-2018 | 7:56 PM
COLOMBO (News 1st) : චීන සමාගම්වලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ට ලැබුණු බව කියන මුදල් පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කළේ ය. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳට චීනයට බහුතර කොටස් ප්‍රමාණයක් හිමි CICT සමාගම 2012 වසරේ මැයි මස 5 වන දා HSBC බැංකුවේ ඩොලර් ගිණුමකින් ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ පනස් දහසක් එම බැංකුවේම රුපියල් ගිණුමට මාරුකර තිබේ. චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ පවත්වාගෙන ගිය 01335919019 අංකය දරණ ගිනුමෙන් 2014 දෙසැම්බර් 12 වනදා 981321 දරණ චෙක්පතින් තුන්කෝටි අනූලක්ෂ හැත්තෑපන් දහසක් ඊ.එච්.ආර්.එස් ෆ්‍රැන්සිස්කු නමැති අයෙකුට ලබාදී ඇතැයි මෙහිදි අනාවරණය විය. 2015 ජනවාරි 7 වන දා තවත් රුපියල් කෝටියක චෙක්පතක් ඔහුට ලබාදී තිබේ. නොරොච්චොලේ ඉදි කළ චයිනා මැෂිනරි කෝපරේෂන් සමාගම ස්ටෑන්ඩර්ඩ් චාටර්ට් බැංකුවේ 1358988-01 අංකය දරණ ගිණුමෙන් 2015 ජනවාරි 1 වනදා තවත් රුපියල් දොලොස් ලක්ෂ අනූපන්දහසක් ඩී.එස් ජයසිංහ නමැති අයෙකුට ලබාදී තිබේ. චීනයේ මෙම ක්‍රියාකාරකම් ගැන අප අවස්ථා ගනණාවකදී අනාවරණය කළේ, ලෝකයේ සෙසු රටවල ද අත්දැකීම් සමගයි. චීනය ආර්ථික වශයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව ඕනෑතරම් උදාහරණ තිබියදීත් වත්මන් ආණ්ඩුව ද යළිත් ඔවුන් සමගම කටයුතු කිරීමට පියවර ගනිමින් සිටී. ජනාධිපතිවරණයට පෙර චීන ව්‍යාපෘති ගැන විවේචනය කළ වත්මන් ආණ්ඩුව බලයට පැමිණි වහා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අත්හිට වූ ටික දිනකින් නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ ය. හම්බන්තොට වරාය චීන සමාගමට 99 අවුරුදු බදු පදනමට ලබාදුන්නේ ඒ වෙනුවෙන් ගත් ණය මුදල රටට බරක්ව ඇති බව පවසමිනි. මේ අනුව චීනයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමවන අයුරින් පිහිටුවාගත් සමාගමකට වරාය පවරා තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා දැනටමත් චීන එක්සිම් බැංකුවෙන් ණයක් ලබාගැනීමට එකඟතාව පළකර ඇති අතර එහි ඉදිකිරීම් ද චීන සමාගමකට පැවරීමට සූදානමින් සිටී. අගමැතිවරයා පසුගිය දිනවල ප්‍රකාශ කළේ, විදුලිය හා ස්වභාවික ද්‍රව වායු සැපයීමේ ව්‍යාපෘති සඳහා ද ආයෝජනය කිරීමට චීනය සූදානමින් සිටින බවයි. චීන සමග මේ ආණ්ඩුව බොහෝ ව්‍යාපෘති පනගැන්වීම හා අලුතින් ඇරඹීමට සැළසුම් සකස් කළේ, අගමැතිවරයා ප්‍රධානත්වය දරන මලික් සමරවික්‍රම ඇමතිවරයා ද සිටින ආර්ථික කළමනාකරණ කැබිනට් අනුකමිටුව හරහායි. අපේ රටේ දේශපාලනඥයින් පාඩම් ඉගෙන ගන්නේ කවදා ද?