ශ්‍රී ලංකා ආණ්ඩුවේ මුදලින් මෙරට කළ සංචාරයක් නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකුට අසුන අහිමිවන ලකුණු

by Staff writer 19-07-2018 | 8:40 PM
COLOMBO (News 1st) : මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ශ්‍රී ලංකා රජයේ වියදමින් රුපියල් දෙකෝටියකට අධික සුඛෝපභෝගී නිවාඩුක් ගත කිරීම සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකුට දින 30 ක් එරට පාර්ලිමේන්තුව තහනම් කර තිබේ. මේය බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකුට පනවන ලද දීර්ඝතම පාර්ලිමේන්තු තහනමක් බව විදෙස් වාර්තාවන්හි සඳහන් ය. ඉයන් පේස්ලි මන්ත්‍රීවරයාට මෙම තහනම පනවා ඇත්තේ 2013 වසරේ දී සිය පවුලේ සාමාජිකයින් සුඛෝපභෝගි නිවාඩුවක් ගත කිරීම සඳහා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් විස්තර හෙළි නොකිරීම හේතුවෙනි. බ්‍රිතාන්‍යයේ ඩී.යු.පී. පක්ෂයේ මන්ත්‍රී ඉයන් පේස්ලි 2013 වසරේ දී දෙවතාවක් ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් සිය පවුල සමග නිවාඩු ගත කළ බව ද ටෙලිග්‍රාෆ් පුවත්තේ පසුගියදා හෙළිදරව්කර තිබිණ. දඬුවමට ලක්වූ මන්ත්‍රීවරයා යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන එනු ලැබූ යෝජනාවට අදාළව ශ්‍රී ලංකාවේ රජයට වාසිදායක අන්දමින් කටයුතු කරන ලෙස ඉල්ලා එවක අගමැති ඩේවිඩ් කැමරන්ට බලපෑම් කළ අයෙකු බව සඳහන් ය. චෝදනා විභාග කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආචාර ධර්ම කමිටුව මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය මුදල් ලබාගෙන බලපෑම් කිරීමක් ලෙසින් හඳුන්වමින් එමගින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කළ බවට තීන්දු කර තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ඔහුට දක්වන ලද පුද්ගලික ආගන්තුක සත්කාරය ඔහු කරන මැදිහත්වීම් සම්බන්ධයෙන් බලපෑමක් කිරීමට සමත් වේ යයි, අන් අය විසින් සිතනු ලැබීම සාධාරණ බව කමිටුවේ සභාපතිනි කැතරින් ස්ටෝන්ගේ නිගමනයයි. මේ අතර අකුරණ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය කළ මොහොමඩ් හනිෆා මොහොමඩ් නියාස්ට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහින් කුලතුංග මහතා විසින් වසර 05 ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියමකර තිබේ. ඒ 2012 වසරේදී ගල්වලක් පවත්වාගෙන යෑම සඳහා අකුරණ ප්‍රාදේශීය සභාවෙන් නිකුත්කරන ලද බලපත්‍රයක් වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරදීම පදනම් කරගනිමින් රුපියල් 50000 ක් ලබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.