ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 19-07-2018 | 6:59 AM
1. ETI අධ්‍යක්ෂවරුන් 4දෙනෙකුට විදේශගතවීම තහනම්: එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙකුට විදේශගතවීම වළක්වමින් අධිකරණය පැන වූ තහනම දින නියමයක් නොමැතිව දිර්ඝ කර තිබේ. ඒ, අද එම නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. 2. ගෝඨාභය ගැන මහින්දගේ නමින් අසත්‍ය ලියවිල්ලක් පළ කර ඇතැයි පැමිණිල්ලක්: ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළැයි පවසා ව්‍යාජ ලෙස සකස් කළ නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පිළිබඳව එම පාර්ශව ආයතන කිහිපයකට පැමිණිලි කිරීමට උත්සාහ කළේ ය. මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කරන ලදැයි පවසා ප්‍රසිද්ධ කර ඇති මෙම ලියවිල්ලේ සඳහන් වන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කර ඇති බවයි. 3. newsfirst.lk රන් සම්මානයෙන් පිදුම් ලබයි: බෙස්ට් වෙබ් 2018 – සම්මාන උළෙලේදී නිව්ස්ෆස්ට් මෙවර රන් සම්මාන 2ක් හිමි කර ගනු ලැබිණි. ප්‍රවෘත්ති වෙබ් අඩවියක් මෙම සම්මාන උළෙලේ සමස්ත අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය හිමි කර ගත්තේ පළමු වරටයි. හොඳම මාධ්‍ය, ක්‍රීඩා සහ විනෝදාත්මක වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය ද newsfirst.lk වෙබ් අඩවියට මෙවර හිමිවිය. සම්මාන උළෙල පැවැත්වූයේ, කොළඹ ගලදාරි හෝටලයේදීයි. 4. බස්නාහිර පළාත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වැඩ වර්ජනයක: බස්නාහිර පළාත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අද සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, ජ්‍යේෂ්ඨ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් පිරිසකට ගම් ප්‍රදේශවලට ස්ථාන මාරු ලබා නොදී නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පිරිසකට සිය ගම් ප්‍රදේශ ආසන්නයට පත්වීම් ලබා දීමට විරෝධය පළ කරමිනි.

විදෙස් පුවත්

5. රුසියාවේ මැදිහත්වීම පිළිබඳව ට්‍රම්ප්ගේ දෙබිඩි පිළිවෙත: 2016 වර්ෂයේ අමෙරිකාවේ පැවති ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වන චෝදනා දෙරටේ නායකයෝ ප්‍රතික්ෂේප කරති. පසුගිය සඳුදා ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර පැවති හමුවෙන් පසු කළ මාධ්‍ය සාකච්ඡාවේදී, රුසියාව කිසිදු ලෙස අමෙරිකානු හෝ වෙනත් රටක මැතිවරණ කටයුතුවලට මැදිහත් වී නොමැති බවට ජනපති පුටින් ප්‍රකාශ කළේ ය. ඉන් දිනකට පසුව ජනපති ට්‍රම්ප්, අමෙරිකානු බුද්ධි අංශ විසින් නිගමනය කළ මෙම කාරණය තමන් පිළිගන්නා බවට කළ ප්‍රකාශය මේ වන විට සියලු දෙනාගේ අවධානයට ලක් ව තිබේ.

ව්‍යාපාරික පුවත්

6. පසුගිය වසරේ මුල් මාස 5ට සාපේක්ෂව මේ වසරේ කොටස් වෙළෙඳපොළේ පසුබෑමක්: පසුගිය වසරේ මුල් මාස 05ට සාපේක්ෂව මෙරට කොටස් වෙළෙඳපොළ ඒකක 6398 ක් දක්වා 4.1%කින් පහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. රුපියල අවප්‍රමාණයවීම, ආර්ථිකය තුළ පැවති මන්දගාමීත්වය හා කොළඹ කොටස් වෙළෙඳපොළ තුළින් විදේශීය ආයෝජකයින් පිරිසක් ඉවත්වී යාම වැනි කරුණු කොටස් වෙළෙඳපොළේ ඇති වූ පහළ යාමට හේතුව බව එම වාර්තාවේ සඳහන් ය.