කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් යළි ඇරඹේ

by Staff writer 19-07-2018 | 12:34 PM

COLOMBO (News 1st) - පසුගිය සඳුදා සිට නවතා දමා තිබූ කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදු කිරීම යළි ආරම්භ කර තිබේ.

එහි උසස් නිලධාරියෙකු පැවසුවේ, ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් යළි සැත්කම් සිදු කිරීම ආරම්භ කළ බවයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ අක්‍රියවී ඇති වායු සමීකරණ පද්ධතියේ ගැටලුවට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පසුගිය දා සැත්කම් සිදු කිරීම නතර කළේ ය. පසුව අදාළ ගැටලුව විසඳීම සඳහා සමාගමක් වෙත පවරා ඇති අතර එම සමාගම වායු සමීකරණ පද්ධතිය මාස දෙකහාමාරක් තුළ පිළිසකර කර දෙන බව එකඟවී ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ අනුව හෘද සැත්කම් සිදු කිරීම ඊයේ දිනයේ යළි ආරම්භ කෙරුණි.