ඇලෝසියස් හා පාලිසේන යළි රිමාන්ඩ්

අර්ජුන් ඇලෝසියස්ගේ කොට්ට යටින් හමුවූ දුරකතන හා සිම්වලින් දකුණේ අපරාධ ගැන තොරතුරුත් එළියට

by Staff writer 19-07-2018 | 4:11 PM
COLOMBO (News 1st) : දකුණු පළාතේ සිදුවූ විවිධ අපරාධවලට සම්බන්ධ තොරතුරු රැසක් අර්ජුන් ඇලෝසියස් රඳවා සිටි බන්ධානාගාර වාට්ටුවේ තිබී සොයාගත් ජංගම දුරකතන හා සිම් කාඩ්පත් පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි. පසුගිය ජුනි 29 වන දා බන්ධනාගාර නිලධාරින් විසින් අර්ජුන් ඇලෝසියස් මහතා රඳවා සිටින එච් වාට්ටුව පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන 3 ක සහ සිම් කාඩ්පත් 5 සොයා ගැනිණ. එහි විශ්ලේෂණ වාර්තාවට අනුව අභ්‍යන්තර තොරතුරු අනාවරණය වු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අද අධිකරණයට පෙන්වා දුන්නේ ය. දකුණු පළාතේ සිදුවූ විවිධ අපරාධවලට සම්බන්ධ තොරතුරු එමගින් අනාවරණය වන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දිර්ඝ ලෙස පරික්ෂණ පවත්වා ඊට අදාළ කරුණු අධිකරණ හමුවේ වාර්තා කිරීමට අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකා මහැංකුවේ ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහබැංකු බැඳුම්කර වෙන්දේසිවලදී ශ්‍රී ලංකා මහැංකුව විසින් නිකුත් කර ඇති මුල්‍ය රෙගුලාසි සහ මධ්‍යම තැන්පතු ක්‍රමය අනුගමනය නොකර නීති විරෝධී ආකාරයෙන් මුදල් ගණුදෙනු කිරීමෙන් මුදල් පනතේ වගන්ති උල්ලංඝනය කර ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නා ය. අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සැකකරුවන් ලබන 2 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.