ETI අධ්‍යක්ෂවරුන්ට පැනවූ විදෙස් ගමන් තහනම

ETI අධ්‍යක්ෂවරුන් 4 දෙනාට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

by Staff writer 18-07-2018 | 1:29 PM
COLOMBO (News 1st) - එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂවරුන් 4 දෙනෙකුට විදේශගත වීම වළක්වමින් අධිකරණය පැනවූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබේ. ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසිනි. ඒ අනුව ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන්ට විදේශගත වීම තහනම් වනු ඇති. අධිකරණය නිකුත් කළ නොතීසිවලට අනුව අද දින ජීවක එදිරිසිංහ ඇතුළු අධ්‍යක්ෂවරුන් 4 දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙහිදී කොටුව මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර සිටියේ, ඊ.ටී.අයි. ආයතනය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා සහයෝගය ලබා දෙන ලෙස ය. මෙම අධ්‍යක්ෂවරුන් 4 දෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර පියවර ගනු ලැබුවේ, නීතිපතිවරයා අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීය. ඊ.ටී.අයි. ආයතනය 2011 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇත්තේ මූල්‍ය නීතිවලට පටහැනි ආකාරයෙන් බව බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා නීතිපති දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණි. මේ හේතුවෙන් සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාව රුපියල් බිලියන 33කි.