විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව සමුළුවට ජනපති එක්වෙයි

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක සමුළුවට ජනපති එක්වෙයි

by Staff writer 18-07-2018 | 6:55 AM
COLOMBO (News 1st) - ජෝර්ජියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක සමුළුවට අද සහභාගී වේ. සමුළුව අද පෙරවරුවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුළු ශාලාවේදී ආරම්භ වේ. ජනාධිපතිතුමා ආරම්භක දිනයේම සමුළුව අමතන අතර හවුල්කාරිත්ව අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති සාධනීය පියවර පිළිබඳව එහිදී ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට නියමිත ය. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය - පුරවැසියන් කෙරෙහි දැක්වෙන විනිවිද භාවය, වගවීම සහ මහජන සහභාගීත්වය වැඩි දියුණු කිරීම උදෙසා සැකසුනු යාන්ත්‍රණයකි. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව ස්ථාපිත කෙරුණු අතර එහිදී වර්තමාන රජය විසින් ගෙනයනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එකී හවුල්කාරිත්වය සමග එක් වන ලෙස ලැබුණු ආරාධනාව අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාව ඒ හා එක්විණි. ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබා ගත් ප්‍රථම දකුණු ආසියාතික රට යි. මේ වන විට ලොව රාජ්‍යයන් 75ක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.