by Staff writer 18-07-2018 | 12:38 PM
COLOMBO (News 1st) - කතරගම උත්සව සමය ආරම්භ වීමත් සමග විශාල ජනතාවක් කතරගම වන්දනාවේ පැමිණෙන අතර පැමිණෙන ජනතාවට අලෙවි කිරීම වෙනුවෙන් ශීඝ්‍රයෙන් සතුන් දඩයම් කෙරෙන බව වාර්තා වේ.
හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ අලුයම 4.00ට පමණ වනජීවී නිලධාරීහු හම්බන්තොට වල්සපුගල රක්ෂිත ප්‍රදේශයේ වැටලීමක් සිදු කළහ.
රක්ෂිතයට ඇතුළු වූ වනජීවී නිලධාරීන්ට දැක ගත හැකි වූයේ, රක්ෂිතයේ පිහිටා තිබූ වැවක් ආසන්නයේ කුඩා දියකඩිත්තක් සදා ඊට විෂ මිශ්‍ර කර ඇති බව ය.
ඉන් සාම්පල කිහිපයක් පරීක්ෂණ කටයුතු සඳහා වනජීවී නිලධාරීන් රැගෙන ගොස් තිබේ.
සැකකරුවන් පැමිණෙන තෙක් උදෑසන 5.00 පමණ වන තෙක් වනජීවී නිලධාරීහු රක්ෂිතයේ රැඳී සිටියහ.
වනජීවී නිලධාරීන් පැවසුවේ, උදෑසන 5.00ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණි අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පළා ගිය බව ය.
එමෙන් ම මිය ගිය මුවෙකුගේ සිරුරක් ද ඒ අසල තිබී සොයා ගනු ලැබිණි.
මෙම වැටලීමට තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද එක්විය.