රුසියාවේ මැදිහත්වීම ගැන ට්‍රම්ප්ගේ දෙබිඩි පිළිවෙත

රුසියාවේ මැදිහත්වීම පිළිබඳව ට්‍රම්ප්ගේ දෙබිඩි පිළිවෙත

by Staff writer 18-07-2018 | 8:48 AM
(News 1st) - 2016 වර්ෂයේ අමෙරිකාවේ පැවති ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වන චෝදනා දෙරටේ නායකයෝ ප්‍රතික්ෂේප කරති. පසුගිය සඳුදා ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර පැවති හමුවෙන් පසු කළ මාධ්‍ය සාකච්ඡාවේදී, රුසියාව කිසිදු ලෙස අමෙරිකානු හෝ වෙනත් රටක මැතිවරණ කටයුතුවලට මැදිහත් වී නොමැති බවට ජනපති පුටින් ප්‍රකාශ කළේ ය. ඉන් දිනකට පසුව ජනපති ට්‍රම්ප්, අමෙරිකානු බුද්ධි අංශ විසින් නිගමනය කළ මෙම කාරණය තමන් පිළිගන්නා බවට කළ ප්‍රකාශය මේ වන විට සියලු දෙනාගේ අවධානයට ලක්ව තිබේ. ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, රුසියාව 2016 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයට යම් කිසි මැදිහත් වීමක් සිදු කර ඇති බව ය. කෙසේ නමුත් එය නිසියාකාරව සන්නිවේදනය වී නොමැති බව ද ඔහු සඳහන් කර තිබේ. සඳුදා පැවති හමුවේදී ජනපති ට්‍රම්ප් මේ පිළිබඳව පළ කළ අදහස් දැඩි විවේචනයට ලක් වූ අතර ජනාධිපතිවරයාගේ පාක්ෂකයින් ද මේ පිළිබඳව ඔහුගේ ස්ථාවරය නිසි ලෙස පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටි බව සඳහන් ය. අමෙරිකානු බුද්ධි අංශය පිළිබඳව සිය සම්පුර්ණ විශ්වාසය සහ උපරිම සහයෝගය ලබා දෙන බව ද මෙහිදී ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කරගැනීමට දෙරටේ රාජ්‍ය නායකයින් මේ හමුවේදී එකගතාවය පල කළා.