බන්ධනාගාර 2ක් පුනරුත්ථාපන කටයුතුවලට යෙදවීමට පියවර

බන්ධනාගාර 2ක්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යෙදවීමට පියවර

by Staff writer 18-07-2018 | 11:20 AM
COLOMBO (News 1st) - බන්ධනාගාර 2ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යෙදවීමට මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය තීරණය කර තිබේ. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා සඳහන් කළේ, මීතිරිගල බන්ධනාගාරය හා කන්දෙවත්ත බන්ධනාගාරය පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත් කරන බව ය. ඒ අනුව පවරා ගන්නා බන්ධනාගාර 2ක අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලට අනුයුක්ත කරමින් පුනරුත්ථාපන සහ ප්‍රතිකාර කටයුතු සිදු කරනු ඇති. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ලයේ යටතේ ඇති පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පවතින තදබදය හේතුවෙන් මෙම පියවර ගත් බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් විමසීමක් කළේ ය. එහි පුනරුත්ථාපනය භාර අධ්‍යක්ෂ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා සඳහන් කළේ, මේ වන විට ඊට අදාළ අනුමැතිය බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ලැබී ඇති බව ය. ඒ අනුව සකස් කළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිත බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.