මේ වසරේ කොටස් වෙළෙඳපොළේ පසුබෑමක්

පසුගිය වසරේ මුල් මාස 5ට සාපේක්ෂව මේ වසරේ කොටස් වෙළෙඳපොළේ පසුබෑමක්

by Staff writer 18-07-2018 | 7:28 AM
COLOMBO (News 1st) - පසුගිය වසරේ මුල් මාස 05ට සාපේක්ෂව මෙරට කොටස් වෙළෙඳපොළ ඒකක 6398ක් දක්වා 4.1%කින් පහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය මේ බව පෙන්වා දෙන්නේ, රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව වසර මැද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. රුපියල අවප්‍රමාණය වීම, ආර්ථිකය තුළ පැවති මන්දගාමීත්වය හා කොළඹ කොටස් වෙළෙඳපොළ තුළින් විදේශීය ආයෝජකයින් පිරිසක් ඉවත් වී යාම වැනි කරුණු කොටස් වෙළෙඳපොළේ ඇති වූ පහළ යාමට හේතුව බව එම වාර්තාවේ සඳහන් ය. මීට සමගාමීව එස් හා පී.එස්.එල්. 20 දර්ශකය මේ වසරේ මැයි අග වන විට 6.6%කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යංශ වාර්තාවේ සඳහන් ය. මේ වසරේ මුල් මාස 6 තුළ මෙරට ආර්ථික වර්ධනය සටහන් වන්නේ 3.8%ක් ලෙස ය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 7.3%ක්ව පැවති උද්ධමනය මේ වසරේ 5.4%ක් දක්වා පහළ ගොස් ඇති බව ද මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි. අමාත්‍යංශ වාර්තාවට අනුව බදු ආදායම් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව ආදායම් බදු අදායම රුපියල් මිලියන 38620 ක් දක්වා 11.4%කින් ද එකතු කළ අගය මත බදු ආදායම 4.5%කින් ද, නිෂ්පාදන බදු ආදායම 9.7%කින් ද වැඩි වී තිබේ. අදාළ කාලය තුළ ජාතිය ගොඩ නැගීමේ බදු ආදායමේ වර්ධනය සටහන් වනනේ 7.2%ක් ලෙස ය. කෙසේ වෙතත් ආනායන බදු ආදායම 38.1%කින් අඩු වී තිබේ.