දුමින්දට මරණ දඬුවම නියම කළේ, සාක්ෂි සහිතව අධිකරණයේ කරුණු තහවුරු කිරීමෙන් පසුවයි නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

by Sagarika Chathumali 18-07-2018 | 11:00 PM
හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 5 දෙනෙකුට මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා මරණ දඬුවම නියම කළේ, සාක්ෂි අනුව ඔවුන් භාරත ලක්ෂ්මන් ඝාතනයට සක්‍රීයව සහභාගී වී ඇති බවට සනාථ වීමෙන් පසුව යැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ මරණ දඬුවමට එරෙහිව දුමින්ද සිල්වා මහතා ගොනු කළ අභියාචනය අද යළි සලකා බැලූ අවස්ථාවේදීයි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ නඩුව මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරුණු අතර එහිදී විනිසුරුවරුන් දෙදෙනෙකුගේ තීරණය මත දුමින්ද සිල්වා මහතා ඇතුළු පස්දෙනෙකුට මරණ දඬුවම නියම විය. මෙම තීරණය පිළිබඳව සිල්වා මහතා කළ අභියාචනය මේ දිනවල අගවිනිසුරු ප්‍රියදාස් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලමින් සිටී. අද නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා තවදුරටත් කරුණු දැක්වීම සිදු කළේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ මෙම අපරාධයට පෙර සිදුවු සියලු සිද්ධිවලට දුමින්ද සිල්වා මහතා නායකත්වය ලබා දී ඇතැයි පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂිවලින් මනාව පැහැදිලි වන බවයි. 2011 පළාත් පාලන මැතිවරණයේදී මුල්ලේරියාව කොටිකාවත්ත සභාපති ධුරයට තරග වැදුණු සිය අනුගාමිකයාට හැර ඔහුගේ ප්‍රතිවාදියාට ඡන්දය ලබා නොදෙන ලෙස දුමින්ද සිල්වා මහතා ප්‍රචාරක රැළිවලදී ප්‍රකාශ කර තිබීමෙන් එකම පක්ෂයෙන් තරග වැදුණු පිරිස අතර ගැටුමක් ඇති කිරීමට දරා ඇති උත්සාහය සනාථ වන බව ද ඔහු කියා සිටියේ ය. මෙම අභියාචනය පිළිබඳව වැඩිදුර විභාගය මෙම මස 22 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.