ගෝඨාභය ගැන පළකළ අසත්‍ය ලියවිල්ලක් ගැන පැමිණිල්ලක්

ගෝඨාභය ගැන මහින්දගේ නමින් අසත්‍ය ලියවිල්ලක් පළ කර ඇතැයි පැමිණිල්ලක්

by Sagarika Chathumali 18-07-2018 | 11:11 PM
ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළැයි පවසා ව්‍යාජ ලෙස සකස්කළ නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පිළිබඳව එම පාර්ශ්ව අද ආයතන කිහිපයකට පැමිණිලි කිරීමට උත්සාහ කළේ ය. මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කරන ලදැයි පවසා ප්‍රසිද්ධ කර ඇති මෙම ලියවිල්ලේ සඳහන් වන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කර ඇති බවයි. එහෙත් එවැනි නිවේදනයක් නිකුත් නොකළ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති අපේක්ෂයා ලෙස තවම නම්කර නොමැති බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා අද පස්වරුවේ නිවේදනය කළේ ය. හිටපු ජනාධිපතිවරයා සිංගප්පුරු සංචාරය සදහා පිටව යන තෙක් බලාසිට මෙම කූඨ ලේඛනය මුදාහැර ඇති බවද ඔහු පවසයි. මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සහ නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා අද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ කොළඹ ඇල්විටිගල මාවතේ පිහිටි වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් භාර දීමට පැමිණියේ ය. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ බව කියැවෙන 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස සදහන්වන මාධ්‍ය නිවේදනය ව්‍යාජ එකක් බවයි. එය සම්පුර්ණ අසත්‍ය බවත් ජනතාව නොමග යමින් දේශපාලනික වශයෙන් ව්‍යාකුල තත්තවයක් ඇති කිරීමට යම් පාර්ශ්වයක් විසින් කරලන ලද උත්සාහයක් බවත් ගෝඨාභ රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.