ඊටීඅයි අධ්‍යක්ෂවරුන් 4කට විදේශගතවීම තහනම්

ඊටීඅයි අධ්‍යක්ෂවරුන් 4කට විදේශගතවීම තහනම්

by Sagarika Chathumali 18-07-2018 | 11:19 PM
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙකුට විදේශගතවීම වළක්වමින් අධිකරණය පැනවූ තහනම දින නියමයක් නොමැතිව දිර්ඝ කර තිබේ. ඒ අද එම නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැදවු අවස්ථාවේදීයි. මේ නියෝගයට ඊටීඅයි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින එදිරිසිංහ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකුට විදේශගතවීම තහනම් වනු ඇති. කොටුව මහේස්ත්‍රාත්වරිය අද ඔවුන්ට නියෝග කළේ ඊ ටි අයි ආයතනය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි. මෙම අධ්‍යක්ෂවරුන් 4 දෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර පියවර ගනු ලැබුවේ නීතිපතිවරයා අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි. ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීය. ඊ. ටි. අයි. ආයතනය 2011 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇත්තේ මුල්‍ය නීතිවලට පටහැනි ආකාරයෙන් බව බැංකු නොවන මුල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා නීතිපති දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණ. මේ හේතුවෙන් සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතාව රුපියල් බිලියන 33 කි.