පොලු රැගත් පිරිසක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයට

පොලු රැගත් සේවක පිරිසක් අග්නිදිග විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට ඇතුළු වෙයි

by Staff writer 17-07-2018 | 7:45 PM

COLOMBO (News 1st) - අග්නිදිග විශ්වවිද්‍යාල පරිපාලනය මේ වනවිට අර්බුද රැසකට මුහුණදී තිබේ.

අද පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳව සංවාදයක් ඇති විය. පොලු රැගෙන අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඊයේ ඇතුලුවූ සේවක පිරිසක් පන්ති තහනම් කළ ශිෂ්‍යයින් පිරිසක් සොයා සෝදිසියක් ක්‍රියාත්මක කළහ. අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විනය භාර නිලධාරියා, ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය උපදේශක, පරිපාලන ආරක්ෂක නිලධාරීන් සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් මෙසේ පැමිණ තිබුනේ නේවාසිකාගාර පාලක ද සමගිනි. අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ පරිපාලන ලේඛකාධිකාරීවරයා පැවසුවේ, නවක වදය සම්බන්ධ සිද්ධියක් මත පසුගිය 14 වන දා සිට සිසුන් 21 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති බවයි. මේ වනවිට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයකු නොමැති අතර නිසි බලධාරියා ලෙස මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය පත්කර සිටි.