ඩොල්ෆින් මත්ස්‍ය ජීවිතවලට බලපෑම් එල්ල වූ පාලම

ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ ජීවිතවලට බලපෑම් එල්ල කළ, හොංකොං සහ චීනය යා කෙරෙමින් ඉදිකෙරෙන පාලම

by Staff writer 17-07-2018 | 12:30 PM
(News 1st) - හොංකොං සහ චීනය යා කෙරෙමින් ඉදිකෙරෙන පාලම හේතුවෙන් ඩොල්ෆින් මත්ස්‍ය විශේෂයකට තර්ජන එල්ල වී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. කිලෝමීටර 30ක දුරකින් සමන්විත චීන - හොංකොං පාලමේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතියි. සාගර විශේෂඥයින් පවසන්නේ, පර්ල් ගංගාවේ මෝය මතින් ඉදිවන මෙම පාලම හේතුවෙන් චීන දේශසීමාවේ ජීවත් වන දුර්ලභ සුදු ඩොල්ෆින් මත්ස්‍ය විශේෂයේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ය. අමෙරිකානු ඩොලර් බිලියන 19ක වියදමක් දරා ඉදිකෙරෙන මෙම නව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ගෙවී ගිය වසර කිහිපය තුළ මෙම ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ ගහණය 80%කින් පහත වැටී ඇති බව සඳහන් ය. අධික ශබ්දය හා කලබලකාරී තත්ත්වය මත්ස්‍යයින්ගේ ජීවිතවලට දැඩි ලෙස බලපා ඇති බව වාර්තා වේ. හොංකොං බලධාරීන් පවසන්නේ, මේ තත්ත්වය පිළිබඳව තමන් අවධානය යොමු කර ඇති බව ය. පාලම විවෘත වන දිනය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැත.