ජනපති ජෝර්ජියාවේ නිල සංචාරයක් අරඹයි

ජනපති ජෝර්ජියාවේ නිල සංචාරයක් අරඹයි

by Staff writer 17-07-2018 | 1:41 PM
COLOMBO (News 1st) : විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, 6 වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ඉතාලියේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා එම සංචාරය සාර්ථකව නිමකර අද අලුයම ජොර්ජියාවේ ෂෝටා රූස්ට්වේලි ටිබිලිසි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බවයි. ගුවන් තොටුපොළේ දී එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ජෝර්ජ් ශර්වාෂිද්සේ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ජනාධිපතිතුමා පිළිගනු ලැබූ තිබේ. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය සමුළුව හෙට පෙරවරුවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුළු ශාලාවේදී ඇරඹෙන අතර හෙට දිනයේදීම සමුළුව අමතන ජනාධිපතිතුමා මෙම හවුල්කාරිත්ව අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති සාධනිය පියවරයන් පිළිබඳව අදහස් දැක්වීමට නියමිතයි. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය, පුරවැසියන් කෙරෙහී දැක්වෙන විනිවිදභාවය, වගවීම, මහජන සහභාගිත්වය, වැඩිදියුණු කිරිම උදෙසා සැකසුනු යාන්ත්‍රණයකි. විවෘත රාජ්‍ය හවුල්කකාරිත්වය 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව ස්ථාපිත කෙරුණු අතර වර්තමාන රජය විසින් ගෙනයනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එකී හවුල්කාරිත්වය සමග එක් වන ලෙස ලද ආරාධනය අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාව ඒ හා එක්වී තිබේ. එහි සාමාජිකත්වය ලබාගත් ප්‍රථම දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාවයි. මේ වන විට ලෝකයේ රාජ්‍යයන් 75 ක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.