ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Sagarika Chathumali 17-07-2018 | 8:16 AM
COLOMBO (News 1st) හිටපු ඇමති බැසිල්ට රට යන්න අවසර ලැබෙයි : හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකාව බලා යාමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා ඊයේ අවසර දුන්නේය. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු 10 සහ නොවැම්බර් 10 ත් අතර කාලය තුළ අමෙරිකාවේ සංචාරය සඳහා අවසර හිමි වනු ඇති.   නැගෙනහිර හිටපු සභාපති දිවි රැක දුන් ඇමති දයා ගමගේ : අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති මහතා හෘදයාබාධායකට ලක් වූ අතර එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුළු පිරිස ගලප්පත්ති මහතාට ප්‍රථමාධාර ලබා දුන්නේ ය. විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය ඇරඹෙයි : රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය ඊයේ ඇරඹිණ. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේ යන අයට විරුද්ධව ගොනු කළ චෝදනා විශේෂ මහාධිකරණයේ පළමු නඩුකටයුත්ත ලෙස විභාග කෙරිණ. ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ බවට චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට ඇප : මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර සහ ගල්කිස්ස පොලීසියේ එවකට සිටි උපපොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන දෙදෙනා අද ඇප මත මුදා හැරිණ. එහිදී එක් සැකකරුවෙකුට රුපියල් 50,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 2 ක් මත මුදා හරින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් මහතා නියෝග කළේ ය.

විදෙස්...

ට්‍රම්ප් හා පුටින් අතර තීරණාත්මක හමුවක් :අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධීපති ව්ලැදිමීර් පුටින් අතර තීරණාත්මක හමුවක් ඊයේ පැවැත්විණ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අතර ප්‍රථම නිල සාකච්ජාව පැවැත්වුණේ, ෆින්ලන්තයේ හෙල්සින්කි හි ජනාධිපති මැදුරේදී ය. ජීවිත රැක ගන්නට ජීවිතය දන් දුන් විරුවා සැමරේ :ප්‍රතිකාර ලබන රෝහලේ සිට තායිලන්ත ලෙනක සිරව සිට බේරා ගත් ළමුන් විසින් එම මෙහෙයුමේදී මිය ගිය නාවික හමුදා කිමිඳුම්කරුවක් වූ සමන් ගුනාන්ට උපහාර පුද කර තිබේ. ඉන්දියාවේ මෙහෙම වුණත්, ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ :සැම්සුන් සමාගමේ විශාලතම කර්මාන්තශාලාව පසුගිය දා ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේදී විවෘත කෙරිණි. මේ හේතුවෙන් සෘජුවම හා වක්‍රව රැකියා 35,000ක් පමණ උත්පාදනය කිරීමට හැකිවී ඇතැයි උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය යෝගි ආදිත්‍යනාත් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

ක්‍රීඩා...

චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහට තරග 6 ක තහනමක් :ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එක්දින තරග 4 ක තහනමක් ද පනවා තිබේ. ඒ, නිමා වූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව මතයි. පාපන්දු ලෝක කුසලානයේ රන් පාපන්දුව ලූකාට :ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රිච් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ය. ප්‍රංශයට පිරිනැමුණු 21 වන ලෝක කුසලාන තරගාවලියේ ශූරතා කුසලානයට අමතරව තවත් කුසලාන 5 ක් මෙවර තරගාවලියේද ක්‍රීඩයින්ට පිරිනැමිණ.