ප්‍රසන්න නානයක්කාර හා තිස්ස සුගතපාලට ඇප

ලසන්ත වික්‍රමතුංග ඝාතනය: ප්‍රසන්න නානයක්කාර හා තිස්ස සුගතපාලට ඇප

by Staff writer 16-07-2018 | 5:18 PM

COLOMBO (News 1st) - මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර සහ ගල්කිස්ස පොලීසියේ එවකට සිටි උපපොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන දෙදෙනා අද ඇප මත මුදා හැරිණි.

ඒ, ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් මහතා හමුවේ අද නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි. එක් සැකකරුවෙකුට රුපියල් 50,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 2 ක් මත මුදා හරින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. ඇප ලබාදෙන අය පවුලේ සමීප ඥාතීන් විය යුතු බවට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ඔවුන් සතු විදේශ ගමන් බලපත්‍ර අධිකරණයේ භාරයට පත් කරන ලෙසත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසයි. සෑම මසකම අවසන් ඉරිදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔවුන්ට පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය. නඩුව ලබන සැප්තැම්බර් 27 වන දා දක්වා කල් තැබිණි.