විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය හෙට

දූෂණ නඩු කඩිනම් කරන විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය හෙට

by Staff writer 15-07-2018 | 6:59 PM
රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය හෙට ආරම්භ වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේ යන අයට විරුද්ධව ගොනු කළ චෝදනා හෙට විශේෂ මහාධිකරණයේ පළමු නඩු කටයුත්ත ලෙස විභාග කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අරමුදල්, ආයෝජන ව්‍යාපෘතියක් ලෙස හයට් හෝටල් ව්‍යාපෘතියට යෙදවීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වේ. සන්ඩේ ටයිම්ස් වාර්තාවට අනුව රාජ්‍ය නිලධාරීන්, බැංකුකරුවන්, ව්‍යාපාරිකයින්, ඒජන්තවරුන් විසින් සිදුකරන ලද බවට චෝදනා එල්ල වන රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අක්‍රමිකතා සොයා බැලීමට මෙම විශේෂ මහාධිකරණය පිහිටුවා තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් පුවපත් වාර්තාවේ දැක්වෙන්නේ අදාළ පැමිණිලි විභාග කිරීම සඳහා 100කට අධික නීතිඥ මඩුල්ලක් බඳවාගෙන ඇති බවයි. මහාධිකරණ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පත් ජානකී රාජරත්න යන අය පත්කර ඇති බව සඳහන් ය.