by Staff writer 15-07-2018 | 10:01 PM
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ සිය මතය පළ කළේ ය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිපිකා උඩගම මහත්මියගේ අත්සනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර තිබේ.
අදාළ තීරණය කෙරෙහි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල පළ කරන බව එහි සඳහන් ය.
- උපුටා ගැනීම -
මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් විශාල සමාජීය ප්‍රශ්ණ ඇතිවන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉතා දරුණු සමාජ විරෝධි ක්‍රියාවලියක යෙදෙන පුද්ගලයන් බවත් අපි පිළිගනිමු. නමුත් එය සාර්ථක ලෙස මැඩලීමට හැකි වන්නේ මරණ දඩුවම වැනි දඬුවම් ක්‍රියාත්මක කිරිමෙන් නොව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාර්යක්ෂම ලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමත්, ඔවුන් සිදු කර ඇති අපරාධ වලට සරිලන ආකාරයේ වෙනත් බරපතල දඩුවම් පැමිණවීමත් යැයි අප කොමිෂන් සභාවේ මතය වේ.
දැනටමත් වරදකරුවන් වී බන්ධනාගාරගත වී ඇති ජාවාරම්කරුවන් බන්ධනාගාරය තුලදීත් එම ජාවාරම්වල යෙදෙන්නේ නම් එයට නිසි පිළිතුර විය යුත්තේ බන්ධනාගාරය තුල ඇති ආරක්ෂක කටයුතු නවීන තාක්ෂණය භාවිත කරමින් තරකිරීමත්. ඊට සම්බන්ධ නිලධාරින් පිළිබඳ විමසිල්ලෙන් සිටිමින් ඔවුන්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමත් වේ.
- උපුටා ගැනිම අවසන් -
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත වීමට ප්‍රධාන සාධකය වන්නේ මහා පරිමාණ ජාවාරම්කරුවන්ට යම් දේශපාලන සබඳතා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් අංශ වලින් ලැබෙන සහය බවයි.
එම හේතු කාරකයන් ආමන්ත්‍රණය නොකොට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නිෂ්ඵල බව ද ජනාධිපතිතුමාට යොමු කළ ලිපියේ සඳහන් ය.
එමෙන්ම, මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකාව 2016 වසරේදී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බවද මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් සිහිපත් කර තිබේ.