මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කාර්ය සාධක බලකායක්

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කාර්ය සාධක බලකායක්

by Staff writer 15-07-2018 | 7:17 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා කාර්ය සාධක බලකායක් ඇති කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, බුද්ධි තොරතුරු ලබා ගැනීම තව දුරට ත් වේගවත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පොලීසියට සහය ලබාදෙන බව ය. මේ අතර සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමට පොලීසියෙන් ක්ෂණික ප්‍රතිචාර ඒකකයක් පිහිටුවන බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි. එය නම් කර ඇත්තේ ඊ.ආර්.ටී. හෙවත් හදිසි ප්‍රතිචාර කණ්ඩායම ලෙස ය. මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, හෙරොයින් කිලෝග්‍රෑමයක දැනට වෙළඳපොළ වටිනාකම රුපියල් එක් කෝටි විසිලක්ෂයක් පමණ වන බව ය. හෙරොයින්, කොකේන් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 17,440 දෙදෙනෙකු වසරේ ගත වූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, පුත්තලම, හලාවත, යාපනය සහ දකුණු මුහුදු තීරය ආශ්‍රිත ප්‍රදේශවලිනි. අදාළ නිලධාරියා සඳහන් කළේ, ඇෆ්ගනිස්ථානයෙන් හා පාකිස්ථානයෙන් මෙරටට වැඩි වශයෙන් හෙරොයින් ගෙන්වන බව ය.