රථ වාහන වැරදි 33 ක දඩ මුදල් අද සිට ඉහළට

රථ වාහන වැරදි 33 ක දඩ මුදල් අද සිට ඉහළට

රථ වාහන වැරදි 33 ක දඩ මුදල් අද සිට ඉහළට

කර්තෘ Chathuranga Rajapaksha

15 Jul, 2018 | 9:11 am

COLOMBO (News 1st) – රථ වාහන වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ අද සිට ක්‍රියාත්මක වේ. 

මීට පෙර පැවති දඩ පත්‍රිකාවට අන්තර්ගත වූ වැරදි සංඛ්‍යාව 23කි.

මෙවර එය 33 ක් දක්වා වැඩිකර ඇත්තේ දඩ ගෙවීම සම්බන්ධයෙන් ද නව රෙගුලාසි ද හඳුන්වා දෙමිනි.

රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, ඒ සඳහා වන නව දඩ පත්‍රිකා ඇතුළත් දඩ පොත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් 489 ක් වූ සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බව ය.

 

මෙම නව ස්ථානීය දඩ සංශෝධන ක්‍රියාත්මක වන්නේ මේ වසරේ ජනවාරි මස 15 වන දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනූවය.

ඒ අනූව වේග සීමා උල්ලංඝණය වන පරිදි රිය ධාවනයට මෙතෙක් රුපියල් 1000 ක්ව පැවති දඩ මුදල රුපියල් 3000 දක්වා ඉහළ දමා ඇති අතර දින 14 ක් ඇතුළත ගෙවීමට අසමත් වුවහොත් එම මුදල දෙගුණයක් වන බව පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ය.

මාර්ග රීතිවලට අවනත නොවීම, පොලිස් නිලධාරීන්ගේ විධාන සහ සංඥාවලට අවනත නොවීම, මාර්ගයක මෝටර් රථයක් නවතා තැබීමේදී හෝ එය ළඟ නොසිටීමේදී හෝ අක්‍රියවීමක දී ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීම යන වැරදි සම්බන්ධයෙන් අය කරන නව දඩ මුදල රුපියල් 2000 ක් වේ.

හඳුනාගැනීමේ තහඩු නොමැතිව රිය ධාවනය මෙතෙක් අය කළ රුපියල් 500 ක ස්ථානීය දඩය රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇති අතර ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් නොකිරීමට අදාළව රුපියල් 500 ක්ව පැවති දඩ මුදල ද රුපියල් 1000 දක්වා ඉහළ දමා තිබේ.

ධාවනය කරන විට රියැදුරු බලපත්‍රයක් රැගෙන යාමට අසමත්වීමේ වරදට නව දඩ මුදල රුපියල් 1000 කි.

ආසන පටි, ආරක්ෂිත හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම සම්බන්ධයෙන් වූ වරදට 15 වන දා සිට අය කරන දඩය රුපියල් 1000 කි.

මාර්ග සංඥාවලට අවනත නොවීම සම්බන්ධයෙන් ලබන 15 වන දා සිට අය කරන ස්ථානීය දඩය රුපියල් 1000 ක් බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.