ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවන්නේ කවදා ද?

by Staff writer 14-07-2018 | 7:51 PM
COLOMBO (News 1st) - ඊ.ටී.අයි. මුදල් තැන්පත්කරුවන් හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්විණි. ඒ, ඊ.ටී.අයි. ප්‍රධාන කාර්යාලයේදී ය. ඊ.ටී.අයි. ආයතනයේ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් තැන්පත්කරුවන් හා සාකච්ඡා කිරීම සඳහා අද මෙම හමුව කැඳවා තිබිණි. මෙහිදී උණුසුම් තත්ත්වයක් ඇති විය. මෙම තැන්පත්කරුවන්ට මුදල් නැවත ගෙවීම සඳහා විවිධ ආයෝජකයින් ඉදිරිපත් වූ අතර ජයසුදීර් ජයරාම් නමැත්තා ද මෙහි ආයෝජන හවුල් කරුවෙකු ලෙස ඉදිරිපත්ව සිටියේ ය. ඔහු මීට පෙර කටුනායක ගුවන්තොටුපොළේදී නීති විරෝධී ලෙස විදේශීය මුදල් තොගයක් රටින් පිට කිරීමට උත්සහ කර රේගු භාරයට ද පත් විය. එම සිදුවීම වාර්තා කළ පුවත්පත් අනාවරණය කර තිබුණේ, බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ලයිකා මොබයිල් සමාගම ඊ.ඒ.පී. සමාගම මිලදී ගැනීමට සූදානම් වන අතර ඒ පිළිබඳව අතරමැදි කටයුතු සඳහා ජයසුදීර් මෙරටට පැමිණෙන්නට ඇති බව ය. රේගු අත්අඩංගුවට පත් වන ජයසුදීර් ජයරාම් හා ඔහුගේ පුත්‍රයා නැවත මුදා හැරෙන්නේ මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය වසරේ නොවැම්බර් මස නැවත ලංකාට පැමිණීමේ පොරොන්දුව මත ය. නමුත් ජයසුදීර් ජයරාම් නමැත්තා අදාළ පරීක්ෂණ සඳහා පෙනී නොසිටියේ ය. නමුත් ඊයේ දිනයේදී රුපියල් මිලියන 48ක් වටිනා විදේශීය මුදල් තොගයක් සමග පුද්ගලයින් 3 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනෙන අතර ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙවැනි පසුබිමකදී ජයසුදීර් ජයරාම් නමැත්තාව ආරක්ෂා කිරීමට උත්සහ කරන්නෙ කවුරුන් ද ? ඊ.ටී.අයි. ආයතනයට ඩොලර් මිලියන 75ක ආයෝජනයක් ගෙනෙන බව පැවසුනත් එම ආයෝජනයෙන් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 32ක් පමණි. මේ අතර දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් ETI මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කළක් කටයුතු කළ මනෝ තිත්තවැල්ල මහතා මේ වන විට රාජ්‍ය ආයතන කිහිපයකම ඉහළ තනතුරුවල කටයුතු කරමින් සිටියි. ඒ මහතාට අයත් සමාගමක් හරහා රජයේ බැංකුවලට නිලධාරීන් පත් කිරීමක් සම්බන්ධයෙන් අපි ඊයේ අනාවරණය කළෙමු. මේ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී තහවුරු විය.