මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ජනපතිට ලිපියක්

මරණ දඬුවම ගැන මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ජනපතිට ලිපියක්

by Staff writer 14-07-2018 | 10:26 PM
COLOMBO (News 1st) - මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීන්දුව පිළිබඳව අදත් විවිධ පාර්ශව සිය මත ඉදිරිපත් කළේ ය. ඒ අතරට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද ඇතුළත් ය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ අත්සනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව සිය මතය ඉදිරිපත් කර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ තීරණය කෙරෙහි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කණස්සල්ල පළ කරන බව ය. --උපුටා ගැනීම-- මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් විශාල සමාජීය ප්‍රශ්න ඇති වන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉතා දරුණු සමාජ විරෝධී ක්‍රියාවලියක යෙදෙන පුද්ගලයන් බවත් අපි පිළිගනිමු. නමුත් එය සාර්ථක ලෙස මැඩලීමට හැකි වන්නේ මරණ දඬුවම වැනි දඬුවම් ක්‍රියාත්මක කිරීමෙන් නොව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාර්යක්ෂම ලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමත්, ඔවුන් සිදු කර ඇති අපරාධවලට සරිලන ආකාරයේ වෙනත් බරපතල දඬුවම් පැමිණවීමත් යැයි අප කොමිෂන් සභාවේ මතය වේ. දැනටමත් වරදකරුවන් වී බන්ධනාගාරගත වී ඇති ජාවාරම්කරුවන් බන්ධනාගාරය තුළදීත් එම ජාවාරම්වල යෙදෙන්නේ නම් එයට නිසි පිළිතුර විය යුත්තේ බන්ධනාගාරය තුළ ඇති ආරක්ෂක කටයුතු නවීන තාක්ෂණය භාවිත කරමින් තර කිරීමත්, ඊට සම්බන්ධ නිලධාරීන් පිළිබඳව විමසිල්ලෙන් සිටිමින් ඔවුන්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමත් වේ. --උපුටා ගැනීම අවසන්-- ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත වීමට ප්‍රධාන සාධකය වන්නේ, මහා පරිමාණ ජාවාරම්කරුවන්ට යම් දේශපාලන සබඳතා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් අංශවලින් ලැබෙන සහය බව ය. එම හේතුකාරකයන් ආමන්ත්‍රණය නොකොට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නිෂ්ඵල බව ද ජනාධිපතිතුමාට යොමු කළ ලිපියේ සඳහන් ය. එමෙන් ම මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකාව 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව ද මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් සිහිපත් කර තිබේ.