මන්නාරම සමූහ මිනී වළෙන් ඇට සැකිලි 44ක් හමුවෙයි

by Staff writer 14-07-2018 | 8:20 PM
COLOMBO (News 1st) - මන්නාරම ප්‍රදේශයෙන් සොයා ගත් සමූහ මිනී වළේ මෙතෙක් කළ කැනීම්වලින් මිනිස් ඇට සැකිලි 44 ක් සහ අස්ථි කොටස් තොගයක් සොයා ගෙන ඇති බව කැනීම්වල නිරත නිලධාරීහු පවසති. මෙම ස්ථානයේ කැනීම් ආරම්භ කෙරුණේ, පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළව කැනීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමග ය. මන්නාරම අධිකරණයේ නියෝගයකට අනුව මෙම කැනීම පසුගිය මැයි මස 28 වන දා ආරම්භ කෙරිණි. ඒ සඳහා මන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ චමින්ද රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක් හා වෝහාරික පුරාවිද්‍යා පරීක්ෂණ සඳහා ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහහාගි වී සිටියි. එහි නිලධාරියෙකු පැවසුවේ, ඇට සැකිලි 44ට අමතරව තවත් හිස් කබල් 10ක් පමණ මේ වන විට මතු කර ගෙන ඇති බව ය. සොයා ගත් අට සැකිලි අතර කුඩා ළමයින් 4 දෙනෙකුගේ අට සැකිලි ද වේ. ඇතැම් අට සැකිලි වයෝවෘද්ධ කාන්තාවන්ගේ හා පිරිමින්ගේ බව ද නිලධාරීහු ප්‍රකාශ කළහ. මෙම කිසිදු ඇට සැකිල්ලක වෙඩි තැබූ සලකුණු දක්නට නොමැති බව ද ඔවුහු පැවසූහ.