කරාපිටියේ හෘද ශල්‍යාගාරය ලෙඩ වෙයි

by Staff writer 14-07-2018 | 7:22 PM
COLOMBO (News 1st) - කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා ලබන සඳුදා සිට හෘද සැත්කම්වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ, එම රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළ කරමිනි. මෙම වායුසමීකරණ පද්ධතිය 2003 වසරේ ස්ථාපනය කර ඇති අතර මුල් වරට අක්‍රිය වූයේ 2013 වසරේදී ය. අවස්ථා කිහිපයකදී මෙම පද්ධතිය නවීකරණය කර දෙන ලෙස හෝ අලුතින් පද්ධතියක් ස්ථාපනය කර දෙන ලෙස රෝහල් නිලධාරීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මීට පෙර වසරකට හෘද හා උරස් කුහර පිළිබඳ ශල්‍ය කර්ම 1000ක් පමණ සිදු කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතාට මේ වන විට එම ප්‍රමාණය 700කට පමණ සීමා කිරීමට සිදුව ඇත්තේ ද රෝහලේ පවතින මෙම අඩුපාඩු නිසා බවට වාර්තා වේ. මේ වන විට වෛද්‍ය නාමල් ගමගේ මහතා හෘද හා උරස් කුහර පිළිබඳ සැත්කම් 18000කට අධික ප්‍රමාණයක් සිදු කර තිබේ. කරාපිටිය රෝහලින් හෘද සැත්කම් සිදු කර ගැනීම සඳහා රෝගීන් 3000කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව ද වාර්තා වේ. හෘද රෝගීන් සැත්කම්වලට ලක් කිරීමෙන් පසු ඇතුළත් කරන්නේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ය. මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අක්‍රීය වීම නිසා එම රෝගීන්ට නිරන්තරයෙන් විෂබීජ ආසාදනය වන බව ද එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය. දරුණු ලෙස විෂබීජ ආසාදනයට ලක් වීමෙන් සති දෙකකට වරක් රෝගියෙකු පමණ මිය යන තත්ත්වයක් උද්ගතව ඇති බව ද එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය. 2015 වසරේ නොවැම්බර් මස 24 වන දා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලේ සංචාරයක නිරත වෙමින් සඳහන් කළේ, මේ ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන බව ය. අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළ ද හෘද රෝග ඒකකයේ වායුසමීකරණ පද්ධතිය හෝ පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ලබා දීම සඳහා යොදා ගන්නා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍රය හෝ මෙතෙක් සවි කිරීමට බලධාරීන්ට හැකි වී නොමැත. කෙසේ වෙතත් අදාළ ගැටලුව ඉදිරි දින කිහිපය තුළ විසඳීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ගෙන ඇති බව අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ ය.