ETI තැන්පත්කරුවන්ට සහන දෙන්නේ කවදාද?

ETI තැන්පත්කරුවන්ට සහන දෙනවා වෙනුවට මාධ්‍ය ආයතන අයිතිය හිමිකර ගන්නට යන විදෙස් ආයෝජකයා කවුද?

by Staff writer 13-07-2018 | 9:08 PM

COLOMBO (News 1st) - ජනතා මුදල් එක්රැස් කර ඒවා හිතුමතේ විනාශ කරමින් මූල්‍ය ආයතන කඩා වැටෙන තත්ත්වයට පත්කළ අවස්ථා ගණනාවක් පසුගිය සමයේ වාර්තා විය.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ඒ අතරින් අලුත්ම සිද්ධිය වේ. EAP සමූහ ව්‍යාපාරයට අයත් වූ ETI මූල්‍ය සමාගමේ ඇති වූ අර්බුදය නිසා එහි මුදල් තැන්පත්කරුවන් දැඩි අසීරුතාවයට පත් වූ අතර ඔවුන්ට තම මුදල් ආපසු ඉල්ලා වීදි බසින්නට පවා සිදුවිය. මෙහිදී වීරයකු රජය ප්‍රකාශ කළේ, සමාගමට නව ආයෝජකයකු සොයා ගැනීමෙන් පසුව තැන්පත්කරුවන්ට ආපසු මුදල් ගෙවන බව ය. මේ අනුව ආයෝජකයෙකු පැමිණි බවත් ඩොලර් මිලියන 75 ක ආයෝජනයක් ගෙනෙන බවත් පසුව ප්‍රකාශ විය. එහෙත් තවමත් මේ ආයෝජනයෙන් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 32ක් පමණි. එම මුදල් ජනතාවට පොරොන්දු වූ පරිදි ETI සමාගමට යොදවනවා වෙනුවට වෙනත් අරමුණු වෙනුවෙන් යොදා ඇති බවක් පෙනෙන්ට තිබේ. අප කළ විමසීමකදී හෙළිවන්නේ ආයෝජකයා රැගෙන ආ ඩොලර් මිලියන 32 ක මුදලට අදාලය EAP ජුවෙලර්ස් සහ තියෙටර්ස් ආයතන වල 100% කුත් EAP මාධ්‍ය ජාලයේ කොටස් වලින් 40% කුත් පවර දී ඇති බව ය. මෙම ආයෝජනයත් සමගම මාධ්‍ය ජාලයට අලුතින් පත් කර ඇති අධ්‍යක්ෂක මණ්ඩලයේ 6 දෙනා ගෙන් හතරක්ම විදේශිකයන්. ඕමාර් ක්වන්දිල්, සිරිල් රොද්‍රිගු, පෝල් ක්ෂේවියර් සහ තෝමස් මැතිව් යන මෙම පුද්ගලයින් සිව් දෙනා වේ. පවරා දිය හැකි කොටස් ප්‍රමාණය වන 40% සඳහා පත් කල හැකි අධ්‍යක්ෂ වරුන් දෙදෙනා වෙනුවට විදේශිකයන් 4 දෙනෙකුම මේ වනවිට ඊඒපී මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ. මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත්ද? ඔවුන් මේ සම්බන්ධව ගන්නා පියවර කුමක් ද? රටේ නීති උල්ලංඝණය කෙරෙනවා නම් ඒ සම්බන්ධව අදාළ ආයතන ක්‍රියාත්මක නොවන්නේ ඇයි?