ශ්‍රී ලංකාව ඉදිරියේ දකුණු අප්‍රිකාව අසරණ වෙයි

ශ්‍රී ලංකාව ඉදිරියේ දකුණු අප්‍රිකාව අසරණ වෙයි

by Staff writer 13-07-2018 | 6:40 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට කඩුලු 04ක් දැවි ලකුණු 111ක් රැස් කරගෙන සිටියේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 287 ක් රැස් කළේය. දෙවැනි දිනට අද තරගය ආරම්භ වනවිට දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 4කි. දිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බලඇණිය අද දකුණු අප්‍රිකා පිතිකරුවන්ගේ මුල් පෙළ කඩුලු 6 ලකුණු 51 ක් තුළ බිඳ දැමුවේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 49 ක් රැස් කළේය. දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත් වුණේ ලකුණු 126 ක් පමණි. දිල්රුවන් පෙරේරා පන්දුවාර 23 කදී ලකුණු 46 ට කඩුලු 4 ක් දවා ගත් අතර සුරංග ලක්මාල් පන්දුවාර 4 යි පන්දු 3 කදී ලකුණු 21 ට කඩුලු 3 ක් දවා ගත්තේය. ඒ, අනුව පළමු ඉනිමේ දකුණු අප්‍රිකායනු කණ්ඩායමට වඩා ලකුණු 161 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අනතුරුව දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 64 ක් තුළදී බිඳ වැටුණි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 17 ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 9 ක් ලබා ගත්තේය. කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. ටෙස්ට් දිවියේ 15 වැනි අර්ධ ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 60 ක් රැස් කළේය. දෙවැනි දිනය සඳහා තරගය නතර කරන දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව සංඛ්‍යාව 272 කි.