මරණ දඬුවම දිය යුතු ජාවාරම්කරුවන්ගේ නම් භාර දෙයි

මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් අධිකරණ අමාත්‍යංශයට භාර දෙයි

by Staff writer 13-07-2018 | 10:45 AM
COLOMBO (News 1st) - මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සිරකරුවන්ගේ නාම ලේඛනය බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශයට භාර දී තිබේ. ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දඬුවම නියමව දඬුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ගේ වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපතිතුමා කළ නියෝගයට අනුව ය. අධිකරණ අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. ආර් අධිකාරි මහත්මිය සඳහන් කළේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව දුන් ලැයිස්තුවට 13 දෙනෙකුගේ නම් ඇතුළත් බව ය. එම සිරකරුවන්ගේ ලිපි ගොනු අධිකරණ ලිපි ගොනු සමග සංසන්දනය කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව සකස් කරනු ඇති. ඊට හේතු වී ඇත්තේ, ඇතැම් සිරකරුවන් ඇපෑලක් ඉදිරිපත් කර තිබීම ය. ඇතැම් සිරකරුවන් ඉදිරිපත් කළ ඇපෑල සලකා බැලීමෙන් අනතුරුව ඔවුන්ට මරණ දඬුවම වෙනුවට ලබා දී ඇත්තේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකි. අවසන් වාර්තාව සකස් කිරීමේදී මෙම සියලු කරුණු අධ්‍යයනය කළ යුතු ය. එම සියලු දත්ත ඇතුළත්ව සකස් කරන අවසන් නාම ලේඛනය ඉදිරියේදී ජනාධිපතිවරයාට භාර දෙන බව ද අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරිය සඳහන් කළා ය. මේ අතර අළුගෝසු තනතුර සඳහා ලබන සතියේ යළි අයැදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, අළුගෝසු තනතුර සඳහා පුරප්පාඩු 2ක් පවතින බව ය. 2015 වසරේ සිට අළුගෝසු තනතුර පුරප්පාඩුව පවතියි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ සහ එල්ලුම් ගස සඳහා යොදන කඹය ආනයනය කර ඇත්තේ පකිස්ථානයෙනි.