නොරොච්චොලේ නිසා ප්‍රදේශවාසීන්ට පානීය ජල ගැටලුවක්

නොරොච්චොලේ නිසා ප්‍රදේශවාසීන්ට පානීය ජල ගැටලුවක්

by Chathuranga Rajapaksha 13-07-2018 | 9:40 PM

COLOMBO (News 1st) - නොරොච්චොලේ තාප විදුලි බලාගාරය හේතුවෙන් මේ වනවිට ඒ අවට ජනතාවට පානිය ජල ගැටළුවකට ද මුහුණ දිමට සිදු වී ඇති බවට ප්‍රදේශවාසින් චෝදනා කරති.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් නිකුත්වන අපද්‍රව්‍ය අවට ප්‍රදේශවල ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් මේ වනවිට විදුලි බල මණ්ඩලය සුළං බාධක ඉදිකිරිමේ හා ජලය ඉසිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මේ සඳහා අවශ්‍ය ජලය ලබා ගන්නේ බලාගාරය තුළ ඉදිකර ඇති නල ළිං වලිනි. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට වගාවන් සඳහා පමණක් නොව පානිය ජල ගැටළුවකට ද මුහුණ දී තිබේ. ජනතාව
බලාගාරය ආවට පස්සේ තමා අපිට වතුර බොන්නත් බැරි ඉස්සර මේහේම තිබුණේ නැහැ. ගෙවල්වල ඉන්නත් බැහැ දූවිලි ගොවිතැන් කරන්නත් හරි අමාරුයි. සල්ලිවලට තමා අපි වතුර ගන්නේ ඒ වතුර ගණන් දැන් රෙදි හෝදලා දාන්නත් බැහැ. දුම් ගහනවා අපිට. වතුර බොන්න බැහැ අපි සල්ලි වලට අරන් බොන්නේ වතුර කැන් එක්ක රුපියල් 100යි. ඉස්සර අපි අපේ වතුර බීවේ. අරක කරනවා මේක කරනවා කිවා කිසි දෙයක් කරලා නැහැ.
නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයෙන් දිගින් දිගටම සිදුවන පාරිසරික බලපැම් හේතුවෙන් එම බලාගාරය පවත්වාගෙන යාම සඳහා වන පරිසර ආරක්ෂණ බලපත්‍රය වසර එක හමාරක පමණ සිට මේ දක්වා ලබා දීමට වයඹ පළාත් පරිසර අධිකාරිය ක්‍රියාකර නොමැත. අප කළ විමසීමකදි පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සමන් ලෙනදූව මහතා පැවසුවේ අදාළ ව්‍යාපෘතිය සඳහා පරිසර බලපත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යනයක් කරමින් සිටින බව ය.