තායිලන්ත අගමැති හා අග්‍රාමාත්‍යවරයා අතර හමුව අද

දිවයිනට පැමිණි තායිලන්ත අගමැති හා අග්‍රාමාත්‍යවරයා අතර හමුව අද

by Staff writer 13-07-2018 | 9:16 AM
COLOMBO (News 1st) - දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන් ඔ-චා මහතා අද උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි. අග්‍රාමාත්‍යවරයා විසින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට උදෑසන භෝජන සංග්‍රහයක් ද පිරිනැමීමට නියමිත ය. අනතුරුව දෙරට අතර ආර්ථික සහයෝගීතාව, වෙළෙඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍ර මත පදනම් වූ සාකච්ඡා පැවැත්වෙනු ඇති. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිතව ඇත්තේ ඉන් අනතුරුව ය. අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මෙරට සංචාරය සනිටුහන් කරමින් පේරාදෙණිය උද්භිත උද්‍යානයේදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අතින් පැළයක් රෝපණය කිරීමට නියමිත ය. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමුවිය. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් තැබිණි.