කනිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය

කනිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් තරගයට පෙනී සිටීමේ අවස්ථාව අරුණ දර්ශනට අහිමි වෙයි

by Staff writer 13-07-2018 | 9:03 AM
COLOMBO (News 1st) - කනිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 බාලක අවසන් පූර්ව වටයේ තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන 5 වන ස්ථානයට පත් විය. ඒ අනුව එහි අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව ඔහුට හිමි නොවී ය. කනිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය ෆින්ලන්තයේදී පැවැත්වේ. එහි තරග පැවැති 3 වන දිනය වූ ඊයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අවසන් පූර්ව වටයේ තරගවලට සහභාගී වූහ. අමාෂා ද සිල්වා සහභාගී වූයේ මීටර 100 බාලිකා ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයට ය. ඇය එහිදී තත්පර 11.86ක දක්ෂතාවක් දැක්වූ අතර ඒ අනුව හිමි වූයේ එහි 8 වන ස්ථානය යි. කෙසේ නමුත් මෙහි මූලික වටයේ තරගයේදී අමාෂා තත්පර 11.75ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූවා ය. පසුගිය මාසයේ ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී ඇය මෙම ඉසව්වට තත්ත්පර 11.71ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ රිදී පදක්කම තමන් සතු කර ගත්තා ය. මේ අතර ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන ඊයේ සහභාගී වූයේ මීටර 400 බාලක ඉසව්වේ තුන්වන අවසන් පූර්ව තරගයට ය. නුපුරුදු ශීත දේශගුණයක් යටතේ ධාවනයේ නිරත වූ අරුණට එහිදී සිය මූලික වටයේ තරගයේදී සටහන් කළ තත්පර 46.81ක කාලය අභිබවා යෑමට හැකි වූ නමුත් අවසන් තරගයට පිවිසීමට එය ප්‍රමාණවත් නොවී ය. ඔහු ඊයේ දිනයේදී තත්පර 46.75ක දක්ෂතාවක් දැක්වුවේ ය. කෙසේ නමුත් අරුණ දර්ශන පසුගිය මාසයේ ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී තත්ත්පර 45.79ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය. ඒ, එම ඉසව්වට ජාතික සහ තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි.