රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා දැනට පැවැත්වෙන ලිඛිත පරීක්ෂණය වෙනුවට නව ක්‍රමයක්

by Staff writer 12-07-2018 | 6:49 PM
COLOMBO (News 1st) - රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා දැනට පැවැත්වෙන ලිඛිත පරීක්ෂණ වෙනුවට පරිගණක ස්පර්ශ තිරය භාවිතයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයට පෙනී සිටීමේ නව ක්‍රමවේදයක් අද හඳුන්වා දුන්නේ ය. ඒ, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී ය. මෙම නව ක්‍රමවේදයට අනුව රියැදුරු බලපත්‍ර අපේක්ෂකයින්ට භාෂා ත්‍රිත්වයෙන්ම අදාළ විභාගයට පෙනී සිටීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව ලිඛිත විභාගයේදී මෙන් ම පරිගණක ස්පර්ශ තිරය භාවිතයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේදී විභාගයේදී අපේක්ෂකයෙකුට ඒ වෙනුවෙන් ලැබෙන කාල සීමාව පැයකි. එක් එක් අපේක්ෂකයාට වෙන වෙනම ප්‍රශ්න සැපයෙන බැවින් විභාග වංචා සිදු කිරීමේ හැකියාවක් ‍මෙම ක්‍රමවේදය සතු නොවන අතර විභාගයට මුහුණ දීමෙන් පසු ඒ මොහොතේදී ම තමන්ගේ ප්‍රතිඵල දැනගත හැකි ය. මීට අමතරව විභාගය සඳහා ඉතිරිව ඇති කාල සීමාව පරිගණක තිරය මත සඳහන් වීම, එක් එක් අයැදුම්කරුට පරීක්ෂණයට මුහුණ දී අවසන් වූ වහාම ඔවුන්ගෙන් සමත් අය හට පුහුණුවන්නෙකුගේ අවසර පත්‍රය ලබා ගැනීමට ද අසමත් අයට යළි පරීක්ෂණය සඳහා දිනයක් ලබා ගැනීමට ද මෙම නව ක්‍රමවේදය මගින් අවස්ථාව සලසා තිබේ. ඒ අනුව ‍වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී දිනකට අවශ්‍යතාව පරිදි විභාග වාර ගණනාවක් පැවැත්වීමේ හැකියාව පවතින අතර එක් වරකට අපේක්ෂකයින් 143 දෙනෙකුට පරිගණක ස්පර්ශ තිරය භාවිතයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයට පෙනී සිටිය හැකි ය. 2019 වසර වන විට මෙම ක්‍රියාවලිය සිය සෙසු ශාඛා 24දී ද ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ය.