මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකි සිරකරුවන් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව තොරතුරු රැස් කරයි

by Staff writer 12-07-2018 | 8:13 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ ප්‍රකාශයත් සමග මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබේ. ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ආකාරයට මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිවලට මරණ දඬුවම නියම වීමෙන් පසුවත් ජාවාරම් කරන පුද්ගලයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත ය. බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, මරණ දඬුවම සඳහා ස්ථීර වුණු සිරකරුවන් 374 දෙනෙකු දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටින බව ය. ඉන් 17 දෙනෙකු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බව ඔහු සඳහන් කළේ ය. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් වී ඇති අයගේ ලිපි ගොනු පරීක්ෂා කරන බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ ය. තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක "මරණ දඬුවම සඳහා ස්ථීර වුණ සිරකරුවන් 374ක් ඉන්නවා. ඔවුන් දිවයින පුරා බන්ධනාගාරවල රඳවා තිබෙනවා. මත්ද්‍රව්‍ය වරද කරුවනුත් මේ අතර ඉන්නවා. මේ වන විට අපි ගණනය කිරීම් කරනවා ඒ අයව, ලිපි ගොනු පරීක්ෂා කරනවා ඇත්ත වශයෙන්ම කී දෙනෙක් මත්‍ද්‍රව්‍ය සඳහා වැරදිකරුවන් වෙලාද කියන එක. දැනට වැලිකඩ බන්ධනාගාරයේ විතරක් 17 ක් ඉන්නවා.මේ 374ම ගොනු පරීක්ෂා කළ යුතුයි. ඒගොල්ලන් මත්ද්‍රව්‍යවලට වැරදිකරුවන් වෙලා ඉන්නවා නම් ඒගොල්ලන් තමයි මේකට අයිති වෙන්නේ. වැලිකඩ බන්ධනාගාරයේ පමණයි මේ වන විට මරණ දඬුවම දෙන්න පහසුකම් තියෙන්නේ. එල්ලීම සඳහා භාවිත කරන කඹය පකිස්ථානයෙන් ආනයනය කරලා තියනවා. දැනට අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩු තියනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ අයැදුම්පත් නැවත කැඳවන්න. අපිට මාසයක් වගේ යද්දී කරන්න පුළුවන්." කිලෝග්‍රෑම් 103කට අධික හෙරොයින් තොගයක් පසුගියදා සොයා ගත් අවස්ථාවේ පොලීසිය පැවසුවේ, මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව ය. පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මාධ්‍ය ප්‍රකාශක 2018.07.08 "දැනට වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම ලද පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයගේ නම ධර්මරාජා සුසේන්ද්‍රන් නොහොත් සුසේයි. මේ සුසෙයි කියන පුද්ගලයා නිතරම දුරකතනයෙන් සම්බන්ධ වෙනවා මෙහොමඩ් මාහින් සමග. හෙරොයින් ලංකාවට ගේන්නේ සහ මේ සිද්ධිය සැලසුම් කරලා තියෙන්නේ, මේ මරණ දඬුවමට ලක් වෙලා වැලිකඩ බන්ධනාගරයේ ඉන්න සුසේයි විසින් බවට විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තියනවා" සුනිල් හඳුන්නෙත්ති - පා.ම ජනතා විමුක්ති පෙරමුණ "දඬුවම් දෙන්න ඕනේ මොකට ද? කුඩු ගේන අයට විතර ද? කුඩු ගේන්න අතට දෙන දේශපාලනඥයන්ට. එයාපෝට් එකෙන් විමර්ශන කරද්දී මේ රටේ නීතී රීති තියෙද්දී වරායේ විමර්ශන කරද්දී ඒ සියලු දේට බය නැතුව කන්ටේනර් පිටින් කුඩු තොග ගේන්නේ දේශපාලන හයියක් නැති මිනිස්සු නෙවෙයි. ඉතා පැහැදිලිව දැවැන්ත දේශපාලන හයියක් ඇති මිනිස්සු. හැබැයි හැමදාම උනේ දේශපාලකයා රාජ්‍ය බලය විසින් ආරක්ෂා වුණා." චමීර පෙරේරා - කැඳවුම්කරු පුරවැසි සංවිධාන එකමුතුව "මීගමුවේ සුප්‍රසිද්ධ පොඩි ළමයෙක්ගෙන් ඇහුවම ඉස්සරහට කුඩු නේද කියලා කියන්නෙ ඒ පුද්ගලයාට වරෙන්තුවක් අරන් විශේෂ කාර්ය බලකාය ගේ වට කරලා ඒවා හොයන්න උත්සහ කරන කොට මිනිත්තු කිහිපයකින් ඒ ගෙදරට හෙලිකොප්ටරයෙන් බැහැලා ගිහිල්ලා රටේ ජනාධිපතිවරයා ඒ පුද්ගලයාගේ කරට අත දාගේන ඒ පුද්ගලයාව. ඒ පුද්ගලයා බෙරා ගත්තේ කවුද? ඔවුන්ට විරුද්ධව කවුරු හරි කුඩු විකුණුවා නම් ඔවුන්ව මර්දනය කළා. සමහර කුඩුවලට සම්බන්ධ මිනිස්සු තමන්ගේ අමාත්‍යංශය යටතේ අධික්ෂණ ඇමතිවරු වෙලා හිටියා. අද සමහර අය ඉන්නේ හිර ගෙවල්වල." අජිත් පී. පෙරේරා විදුලිබල හා බලශක්ති අමාත්‍ය "මරණ දඬුවම පිළිබඳව ලෝකේ විද්වතුන් අතර දාර්ශනිකයින් අතර අපරාධ විද්‍යාඥයින් අතර විශාල මත භේද තිබෙනවා. හැබැයි ගරු ජනාධිපතිතුමාට හිතෙනව නම් මේක තමයි කළ යුතු හොඳම දේ කියලා ඔබතුමා ඒක කරන්න. ඒක අපි ඔබතුමාට දෙන බලය. ඒකට විරුද්ධ වෙන්න කවුරුත් නැහැ." අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නා හිමි සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක "රටේ පාලනය සඳහා නීතියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නීති සම්පාදනය කරන අය වේවා. නීතිය ක්‍රියාත්මක කරන අය වේවා ඔවුන් ඒ සඳහා යුහුසුලු විය යුතුයි ක්‍රියා කළ යුතුයි. එහෙම වුණාම තමයි රටක යහපත, හොඳ, සෙත සැලසෙන්නේ." අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද නා හිමි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක "නීති රීති නඩු තීන්දු, අධිකරණමය කටයුතු මගින් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම ඒ සමග බැඳුණු ආයතනවලට පැවරී තිබෙන කාර්යයක්. එම කාර්යය ඉෂ්ඨ සිද්ධ කිරීමට එම ආයතන වගබලා ගත යුතුයි කියන කාරණය අදහස තමයි අපිට අද මේ අවස්ථාවේ දක්වන්න තිබෙන්නේ."