ද. අප්‍රිකාවට එරෙහිව දිමුත් කරුණාරත්නගෙන් ශතකයක්

දකුණු අප්‍රිකාවට එරෙහිව දිමුත් කරුණාරත්නගෙන් ශතකයක්

by Staff writer 12-07-2018 | 5:59 PM
COLOMBO (News 1st) - ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද ටෙස්ට් දිවියේ 8 වන ශතකය වාර්තා කළේ ය. ඒ, දකුණු අප්‍රිකාව සමග අද ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය. පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 4කි. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සුරංග ලක්මාල් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ධනුෂ්ක ගුණතිලක ලකුණු 26 ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 11 යි. ලකුණු 24 ක් රැස් කළ කුසල් මෙන්ඩිස් අද ටෙස්ට් ලකුණු 2000 සීමාව පසු කිරීමට සමත් විය. ලක්ෂාන් සඳකැන් ලකුණු 25 ක් රැස් කළේ ය. ටෙස්ට් දිවියේ 8 වන ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 158 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 287 කි. කගීසෝ රබාඩා පන්දුවාර 14 දී ලකුණු 50 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය. අනතුරුව පළමු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඒඩන් මැක්රම් ලකුණු නොලබා දැවී ගියේ ය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් තරග 2ක තහනමක් පනවා තිබේ. ඒ, ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව වැරදිකරුවන් වීම හේතුවෙනි.