චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහට තරග තහනමක්

ක්‍රීඩාවේ ජීව ගුණය හානි කිරීමේ වරදට නායක චන්දිමාල්ට, හතුරුසිංහට සහ ගුරුසිංහට ටෙස්ට් තරග දෙකක් තහනම්

by Staff writer 12-07-2018 | 8:15 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් තරග දෙකක තහනමක් පනවා තිබේ.

ඒ, ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව වැරදිකරුවන්වීම හේතුවෙනි. නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කිරිම සමබන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට, පුහුනුකරු චන්දික හතුරුසිංහට හා කළමනාකරු අසංක ගුරුසිංහට චෝදනා එල්ල විය. ඒ, දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය ආරම්භ කිරීම පැය 2 කින් පමණ ප්‍රමාදවීම හේතුවෙනි. ‍ එම චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කලමනාකරු අසංක ගුරුසිංහගෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ කරුණු විමසීමක් සිදු ක‍ළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඩුබායිහී පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන කාර්යාලය හා එංගලන්තයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලය යන ස්ථාන තුන සම්බන්ධ කරගනිමින් ස්කයිප් තාක්ෂණය ඔස්සේ කරුණු විමසමින් සිදු කළ මෙම විභාගයෙන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ ඔවුන් තිදෙනාට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවීමටයි. ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල මේ පිළිබඳව නිවේදනය කර තිබේ. ඒ අනුව අද ආරම්භ වන තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔවුන් තිදෙනාට අහිමි වනු ඇති.